නියඟයෙන් පීඩා විඳින ජනතාවට සහන ලබාදීමට දුර්වලවීම ගැන ජනපතිගේ කනගාටුව

by Staff writer 21-09-2018 | 9:55 PM

COLOMBO (News 1st) - නියඟයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 900 ක් වෙන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, අද පෙරවරුවේ මහවිලච්චියේදී සාරවත් දේශයක වාපි සංග්‍රාමය, වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. වාරි ප්‍රතිසංස්කරණ ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණේ මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව පිළිසකර කිරීම අරඹමින් ය. මෙම ව්‍යාපෘතිය යටතේ වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කෙරන අතර එම කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්නේ යුද හමුදා ඉංජිනේරු බලකායයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
කන්න හයක් පාළුයි වේල් ගාණක් කන්න නැතුව අනුරාධපුර යුවළක් මුරුංගා කොළ කාළා. මම මේකට විශේෂ නිලධාරියෙක් මේ ගමට යැව්වා. මේ ගමේ තත්ත්වය බලන්න. එක දෙයක් කියන්න ඕනෑ මේ විදිහට වෙන්න දෙන්න බෑ. එක ගමක ග්‍රාමසේවා වසමක නිලධාරී කීයක් ඉන්නවා ද පළාත් සභාව, ප්‍රාදේශීය සභාව, පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඉන්නවා. මේ සෑම කෙනෙක්ම අවබෝධයකින් ගම්වල මොකද වෙන්නේ කියලා බලන්න ඕනෑ. මම හරිම කණගාටු වෙනවා. එහෙම කෑම නෑ කියලා දවස් ගණන් කන්න බැරි දෙයක් කකා ඉන්න මේ රටේ කොහේ හෝ ගමක වෙනවා නම් මේක ඛේදවාචකයක්. අපි හැම කෙනෙක්ම මේ වැරැද්ද පිළිගන්න ඕනෑ. මම මගේ ඉඳලා මේ වැරැද්ද පිළිගන්නනවා. මේක නම් ගමේ තත්ත්වය ජනාධිපතිවරයා විදිහට මගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා. මම සමාව ඉල්ලනවා. මගෙන් පහළ හැම කෙනෙක්ම මේ තත්ත්වයට වගකියන්න ඕනෑ. මේ විදිහේ බඩගින්නේ ඉන්න දෙන්න බෑ කාටවත් ආණ්ඩුවක් විදිහට. එච්චර ආණ්ඩුව හිඟමනට වැටිලා නෑ ඒ අයට උදව් නොකරන්න තරම්.
මහවැලි ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ඉඩම් ඔප්පු 2500 ක් පිරිනැමීම මේ උත්සවයේදී ආරම්භ විය. අද පෙරවරුවේ රුපියල් මිලියන 800 ක වියදමින් ස්ථාපත කරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති 500 ක පිරිසිදු පානීය ජලය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ද පැවැත්වුනේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්යෙනි. මීට සමගාමීව මිහින්තලය, කුරුන්දන්කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති 500 වැනි ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනාධිපතිතුමා අතින් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ විවෘත කෙරුණි. මේ අතර සිරිල් ධර්මවර්ධන පදනම මගින් ක්‍රියාත්මක කරන වකුගඩු හා පිළිකා රෝගීන් සඳහා නොමිලේ ලබාදෙන ප්‍රවාහන සේවාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රෝහලේදී අද ආරම්භ කෙරුණි. මේ අවස්ථාවට සිරිල් ධර්මවර්ධන පදනමේ සභාපති බිනර ධර්මවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් ව සිටිය හ.