ලෝක බැංකුවෙන් නවතම අනාවරණයක්

ලෝක බැංකුවෙන් නවතම අනාවරණයක්

by Staff writer 20-09-2018 | 6:39 PM
COLOMBO (News 1st): ඉහළ යන උෂ්ණත්වය හා වෙනස් වන වර්ෂාපතන රටාවන් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන අතර එමගින් දළ දේශීය නිෂ්පාදිතයට හා ජීවන තත්ත්වයට බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුවේ නවතම වාර්තාවක් අනාවරණය කර තිබේ. දකුණු ආසියාවේ දේශගුණ විපර්යාස බලපෑම් උච්ච වන ස්ථාන - උෂ්ණත්වයේ බලපෑම හා ජීවන තත්ත්වයේ ඇතිවිය හැකි වෙනස්කම් නමැති වාර්තාවට අනුව දකුණු ආසියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් දිවි ගෙවන්නේ, අනතුරුදායක ස්ථානවලයි. වසර 2050 වන විට ශ්‍රී ලංකාවේ උතුරු හා වයඹ පළාත් සාමාන්‍ය උෂ්ණත්වයේ වැඩිවීමකට හා වර්ෂාපතනයේ වැඩිවීමකට භාජනය විය හැකි අදාළ වාර්තාව පෙන්වා දෙයි. 2015 පැරිස් ගිවිසුමෙහි නිර්දේශයන්ට අනුව කාබන් විමෝචනය අඩුකිරීමට පියවර ගත්ත ද 2050 වන විට ශ්‍රී ලංකාවෙහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.0 සිට 1.5 දක්වා ඉහළ යා හැකි අතර කිසිදු පියවරක් නොගතහොත් එම අගය සෙල්සියස් අංශක දෙකක් දක්වා ඉහළ යා යැකි බව ද වාර්තාවේ සඳහන් ය. එම වාර්තාව සකස් කළ ලෝක බැංකුවෙහි දකුණු ආසියා කලාපයෙහි ප්‍ර‍ධාන ආර්ථික විශේෂඥවරයෙකු වන මුතුකුමාර මනී මහතා කියා සිටියේ, කාලගුණ විපර්යාස මගින් ඒක පුද්ගල පරිභෝජන මටිටම පහළ ගොස් දරිද්‍රතාව හා ආදායම් විෂමතා ඉහළ යා හැකි බවයි. දේශගුණික උණුසුම් ස්ථාන හඳුනා ගැනීම මගින් ප්‍ර‍තිපත්ති සම්පාදකයින් හට අදාළ ස්ථාන හා වඩාත්ම පීඩාවට පත් ජනතාව හඳුනා ගැනීමට හැකි වන අතර ඒ සඳහා අවශ්‍ය සම්පත් හා පියවර ගැනීමට ප්‍ර‍මුඛතාව ලබා දීමට උපකාරී වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.