රුපියලේ අගය තවදුරටත් පහළ යයි

රුපියලේ අගය තවදුරටත් පහළ යයි

by Staff writer 20-09-2018 | 9:45 PM
COLOMBO (News 1st) : ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වන රුපියලේ අගය අද තවදුරටත් පහළ ගියේ ය. ඒ අනුව අමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 168 ශත 63ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 168 ශත 63 ක් ලෙසත් ගැණුම් මිල 165 ශත 5 ලෙසත් සටහන්ව තිබිණ. මේ අතර ශ්‍රී ලංකාවේ විනියමය අනුපාතය මත ඇතිවී තිබෙන පීඩනය ලිහිල් කිරීම සඳහා ඊයේ රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය විසින් රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100%ක ආන්තික තැන්පතුව අනිවාර්ය කිරීමට පියවරගත් බව මුදල් අමාත්‍යංශ පවසයි. ණයවර ලිපි විවෘත කිරීම සඳහා අව්‍යශ මුදල් ආනයනකරුවන් වෙත කල්බදු ක්‍රමය යටතේ ණය නිකුත් නොකරන ලෙස වාණිජ බැංකු හා මූල්‍ය ආයතන වෙත සීමා පනවා තිබෙන බව එම නිවේදනයේ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙලෙස ආන්තික මුදල් තැම්පතු අවශ්‍යතාව හේතුවෙන් වාහන ආනයන සීමා වීම හරහා විදේශ විනිමය රටින් බැහැරවීම සැළකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි. මුදල් අමාත්‍යංශය එලෙස සඳහන් කළ ද මෙවන් පසුබිමක් තුළ පසුගිය දා  රජය විසින් විවිධ පාර්ශවයන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරනු ලැබ තිබේ.