කුමන අභියෝග හමුවේ වුව රට වෙනුවෙන් කැපවෙනවා - ජනපති

කුමන අභියෝග හමුවේ වුව රට වෙනුවෙන් කැපවන බව ජනපති කියයි

by Staff writer 20-09-2018 | 6:28 PM
COLOMBO (News 1st) : බලයට පත් සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයින් භාවිත කළා මිස, එම ජනතාවගේ ආර්ථික හා සංවර්ධන ගැටලු විසඳීමට හැකි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ උතුරු නැගෙනහිර ජන වාර්ගික ගැටලුව ඇතිවීමට හේතු වූ කරුණු ගණනාවක් අතර නිසි දේශපාලන නායකත්වයක් එම පළාත් තුළින් නියෝජනය නොවීම ද ප්‍රධාන හේතුවක් බවයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කළ - සිරිසර පිවිසුම -සංවර්ධන වැඩ සටහන යටතේ නිම කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය. කිසියම් දිස්ත්‍රික්කයක සංවර්ධනය කරා යන ගමනේදී එම දිස්ත්‍රික්කයේ එක් කැබිනට් අමාත්‍ය ධුරයක්වත් නියෝජනය විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබඳ සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවලදී බවයි. කුමන අභියෝග පැමිණිය ද රටේ හෙට දවස වෙනුවෙන් කැප වන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය.