පකිස්ථානය පැරදු ඉන්දියාවට ජය

එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ඉන්දියාව ජයගනී

by Staff writer 20-09-2018 | 9:11 AM

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඩුබායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 43 යි එක් පන්දුවක් අවසානයේදී ලකුණු 162 කට දැවී ගියේ ය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 3 කදී බිඳ වැටීමෙන් අනතුරුව බාබර් අසාම් සහ ෂොහීබ් මලීක් අතර තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 82 කි. අසාම් ලකුණු 47ක් රැස් කළේ ය. ශොහීබ් මලීක් ලකුණු 43 යි. ඉන්දීය කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස පකිස්ථාන පිතිකරුවන් සත්දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. බුවනේස්වර් කුමාර් ලකුණු 15 ට කඩුලු 3 යි. කේදර් ජාදෙව් ලකුණු 23 ට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නායක රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ය. ශර්මා අර්ධ ශතකයක් වාර්තා කළේ ය. ධවාන් ලකුණු 46 යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 86 කි. අනතුරුව පිටියේ ස්ථාවර වූ අම්බටි රයිදු සහ දිනේෂ් කාර්තික් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 29කදී කඩුලු 2ක් දැවී සිටියදීයි. තරගයේ වීරයා ඉන්දියාවේ බුවනේස්වර් කුමාර් වේ.