හොං කොං කණ්ඩායම‍ට එරෙහිව ඉන්දියාවට ජය

තියුණු තරගයකින් පසු ඉන්දියාව ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් සිව් දෙනාගේ වටයට

by Staff writer 19-09-2018 | 7:19 AM
(News 1st) - තියුණු තරගයකින් පසුව 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිව් දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, හොං කොං කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 26කින් ජය ගනිමිනි. කෙසේ වෙතත් මෙම තරගයේදී තවමත් ජාත්‍යන්තර එක්දින වරම් ලබා නොමැති හොං කොං කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනිණි. තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසියේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛයාව 285කි. ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ලකුණු 23ක් රැස් කළ අතර දිගු කලකට පසුව ඉන්දීය එක්දින සංචිතය නියෝජනය කළ අම්බටි රයිදු සිය 7 වන එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 60ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ශිකර් ධාවාන් සිය එක්දින දිවියේ 14 වන ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 127කි. ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් හා හයේ පහර 2ක් ඇතුළත් ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි කේදාර් ජාදෙව් ලකුණු 28යි. පන්දු යැවීමේදී කින්ඡිට් ශා කඩුලු 3ක් දවා ගත් අතර එශන් ඛාන් කඩුළු 2ක් දාවා ගත්තේ ය. අනතුරුව ලකුණු 286ක දැවැන්ත ඉලක්කයක් සඳහා හොං කොං ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ නායක අනුශ්මන් රත් හා නිසාකට් ඛාන් ය. ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන් ඔවුන් දෙදෙනා හොං කොං ඉනිමේ පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ සබඳතාව ලකුණු 174කි. එය වාර්තා අතරට එක් වන්නේ, හොං කොං පිතිකරුවන් දෙදෙනෙකු පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතාව හා ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතාව ලෙස යි. 7 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක අනුශ්මන් රත් ලකුණු 73ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු නිසාකට් ඛාන් ලකුණු 92ක් රැස් කළේ සිය 3 වන එක්දින අර්ධ ශතකය වාර්තා කරමිනි. කෙසේ වෙතත් හොං කොං ආරම්භක පිතිකරුවන් යුගලය සාර්ථක ආරම්භයක් ලබා දුන්න ද සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට හැකියාවක් නොලැබිණි. එශන් ඛාන් ලකුණු 22ක් රැස් කළ අතර කින්ශිට් ශා ලකුණු 17යි. තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමෙන් ගිලිහී තිබූ මොහොතක ක්‍රියාත්මක වූ කලීල් අහමඩ් සිය මංගල එක්දින තරගයට ඊයේ සහභාගී වූ අතර ඔහු දවා ගත් කඩුලු සංඛ්‍යාව 3කි. යුස්වේන්ද්‍රර් චහාල් කඩුලු 3ක් දවා ගත් අතර කුල්දීප් යාදේව කඩුලු 2යි.