මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් හෙළි වෙයි

ටෙන්ඩර් කැඳවීමකින් තොරව මාලදිවයින් දූපත් 50ක් බදු දී ඇති බවට හෙළිවෙයි

by Staff writer 19-09-2018 | 8:41 AM
(News 1st) - මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඒ, ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ධූරය සඳහා තේරීපත් වීමට ජනාධිපති අබ්දුල්ලා යමීන් සූදානම් වන පසුබිමකදී ය. එම වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයේ නිරත ආයතන සඳහා මහජන ටෙන්ඩර් කැඳවීමෙන් තොරව මාලදිවයින් දූපත් 50ක් බදු දීමට රජය අවස්ථා ගණනකදී පියවර ගෙන ඇති බව සඳහන් ය. එවැනි බදු දීමේ ගිවිසුම් 50කින් 24ක්ම සිදුව ඇත්තේ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අනුමැතිය සහිතව ය. මාලදිවයින් විගණකාධිපතිවරයා පවසන්නේ, විශාල වට්ටම් සහිතව සිදු කෙරුණු මෙම බදු දීම් නීති විරෝධී බව ය. ඉන් එක ගිවිසුමකට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධ වී ඇති බව ද හෙළි කෙරිණි. සිංගප්පූරුවේ ප්‍රකෝටිපති හෝටල් හිමිකරුවෙකු වන ඔන්ග් බෙන්ග් සෙන්ග් මාලදිවයින් දූපත්වල සිය හෝටල් ඉදිකිරීමට අවසර දීම වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාට අධිසුඛෝපභෝගී හෝටල් කාමර පිරිනැමූ බව ද එම වාර්තාවේ සඳහන් ය. මාලදිවයින් ජනාධිපතිවරයාට එරෙහි දූෂණ චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථාවකදී විවිධ පාර්ශවයන්ගෙන් ලද මුදල් භාර ගත් බව ද ඔහු පිළිගත්තේ ය.