ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව ලබන මස 29 සිට අඛණ්ඩව

ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව ලබන මස 29 සිට අඛණ්ඩව විභාග කිරීමට තීරණය කෙරේ

by Staff writer 19-09-2018 | 11:17 AM
COLOMBO (News 1st) - ලිට්ට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් අවභාවිත කිරීම ඇතුළු අධි චෝදනා 24ක් යටතේ හිටපු ජනා‍ධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 29 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය. විනිසුරු මඩුල්ල තීරණය කළේ, එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කොට ඇති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නීතිඥ රුවන් ධර්මවර්ධන ඇතුළු පැමැණිල්ලේ සාක්ෂිකරුවන් සිව් දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ය. එම නඩුව ලබන 28 වන දා යළි කැඳවීමට ද අධිකරණය එහිදී නියෝග කළේ ය.