මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

by Sagarika Chathumali 19-09-2018 | 9:06 PM

COLOMBO(News 1st): බුදු සසුන සුරක්ෂිත කිරීම උදෙසා ක්‍රියා මාර්ග ගන්නැයි ඉල්ලමින් යෝජනා මාලාවක් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි මහ නාහිමිවරුන් ජනාධිපතිතුමාට සංදේශයක් යොමුකර තිබේ.

මහ නාහිමිවරුන් මේ සංදේශයේ සිහිපත් කර සිටින්නේ වර්තමානයේ ගිහි පැවිදි කිහිපදෙනෙකු විසින් සංවිධානාත්මකව සූක්ෂමව ධර්ම විනයට පටහැනි ශාසන විරෝධී ක්‍රියාකාරකම් රාශියක් සිදුකරගෙන යන බවයි. එම පිරිස් ත්‍රිපිටික සූත්‍ර ධර්මවලට හා වචනවලට අත්තනෝමතික ලෙස විකෘති අර්තකතන ඉදිරිපත් කරමින් බුද්ධ ධර්මය ද, දිවයිනේ නොයෙකුත් ස්ථාන නාමයන්ට පදනම් විරහිත කරුණු හා අදහස් බද්ධ කොට බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය වෙනස් කරමින් ද, මිත්‍යා සංකල්ප හා දෘෂ්ටිවාද බෞද්ධ සමාජය පුරා පතුරවමින් සිටින බව එහි සඳහන් ය. මහනාහිමියන් පෙන්වා දෙන්නේ අරහත්වය , සෝතාපන්න භාවය වැනි උත්තරීමනුස්ස ධම්ම තමන් තුළ ඇතැයි, අදාළ පිරිස් පැවසීම භික්ෂූත්වය අහිමි වන පාරාජිකාවක් බවයි. තත්ත්වය සැලකිල්ලට ගෙන මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය කාරක සංඝ සභික නායක ස්වාමීන්වහන්සේලා සහ විද්‍යෝදය විද්‍යාලංකාර පරිවේනාධිපති නායක භික්ෂු වහන්සේ සහ ධර්මධර භික්ෂූන් වහන්සේ රැස්ව රජයේ මෙන්ම බෞද්ධ ජනතාවගේ අවධානයට යොමුකරවීමට ගනු ලැබූ තීරණ 6 ක් මහනාහිමියන් ජනාධිපතිවරයාට දන්වා තිබේ.