ආසියානු ක්‍රිකට් කුසලාන සිහිනය බොඳවෙයි

ශ්‍රී ලංකාවේ ආසියානු ක්‍රිකට් කුසලාන සිහිනය බොඳවෙයි

by Staff writer 18-09-2018 | 7:53 AM
COLOMBO (News 1st) : 5 වරක් ආසියානු ශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. ඒ තරගය අබුඩාබිහිදී ඇෆ්ගනිස්ථානයත් සමග පැවැති තරගය ලකුණු 91 කින් පරාජය වීමත් සමගයි. කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි. එය වාර්තා අතරට එක්වුණේ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙසයි. ආරම්භක පිතිකරුවන් වන මොහොමඩ් ශසාඩ් ලකුණු 34 ක් රැස් හා ඉසනුල්ලා ලකුනු 45 ක් රැස් කළහ. සිය එක්දින දිවියේ 12 වන අර්ධ ශතකය වාර්තා කළ රහමට් ශා රැස් කළ ලකුණු සංඛ්‍යාව 72කි. හශ්මටුල්ලා ශහීඩ් ලකුණු 37 ක් රැස් කළ අතර මොහොමඩ් නබී ලකුණු 15 ක් රැස් කළහ. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 55 ට කඩුලු 5 ක් දවා ගත්තේ ය. තිසර එක්දින තරගයකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන අවස්ථාව එය වන අතර අකිල ධනංජය කඩුලු 2 ක් දවා ගත්හ. අනතුරුව ලකුණු 250 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 41 යි පන්දු 2 ක් අවසානයේ ලකුණු 158 කට දැවී ගියේ ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවෙයි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිසර පෙරේරා ලකුණු 36 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 23 ක් රැස් කළහ. කුසල් ජනිත් පෙරේරා ලකුණු 17 ක් රැස් කළ අතර නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22 ක් ද තිසර පෙරේරා ලකුණු 28 ක් රැස් කළහ. පන්දු යැවීමේදී මූජීබ් අර් රහමාන්, ගුලාබ්ඩීන් නයිබ් , මොහොමඩ් නබී මා රශිඩ් ඛාන් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියහ. මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වුණේ, ඇෆ්ගනිස්ථානය ටෙස්ට් තරග ක්‍රීඩා කරන කණ්ඩායමකට එරෙහිව ලබාගත් සිව්වන එක්දින ජයග්‍රහණය ලෙසයි.