මැතිව්ස් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදියි

මැතිව්ස් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදියි

by Staff writer 18-09-2018 | 9:20 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියි. ඒ, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ලද දරුණු පරාජයන් හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙනි. මෙවර ආසියානු කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දුර්වල පිතිකරණ විලාශය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. පළමු තරගයේදී පළමු කඩුලු 4 ම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ය. එය එසේ සිදුවිය හැකි ද යන්න පිළිබඳව ක්‍රීඩා ලෝලීන් තුළ ඇත්තේ සැකයකි. එසේම පළමු තරගයේදී දසුන් ශානක සහ දෙවන තරගයේදී ශෙහාන් ජයසූරිය දුවද්දී දැවී ගියේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කැඳවීම් අනුව වීම ද කැපී පෙනිණි. බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූයේ කෙතරම් අඩු දක්ෂතාවක් දැයි තහවුරු වන්නේ කිසිවෙකුත් ලකණු 50 සීමාව පසු කිරීමට අපහොසත් වීම මත ය. එය ක්‍රීඩකයින්ගේ දුර්වලතාවක් ද නැතිනම් පිතිකරණ පුහුණුකරුගේ උපදෙස් හේතුවෙන් ඇති වූවක් ද යන්න පිළිබඳව ගැටලු මතු කරයි. ඊට හේතුව පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පිතිකරණ විලාශයන්හි වෙනසක් කර ඇති බවට තොරතුරු වාර්තා වීමයි. මෙම තරග දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ද පැවතියේ ඉතාමත් දුර්වල තත්ත්වයක‍ ය. විස්මය දනවන අත හැරුණු උඩ පන්දු ඊට කදිම උදාහරණයි. තේරීම් කමිටුවේ තේරීම් පිළිබඳව විවේචන එල්ල වෙද්දී එහි එකම සාධනීය කරුණ ලෙස දැක්විය හැක්කේ ලසිත් මාලිංග මාධ්‍යයේ දැඩි බලපෑම මත කණ්ඩායමට එක් කිරීම පමණි. ඉකුත් වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 60කට සහභාගී වූ අතර ඉන් තරග 18ක් ජය ගෙන පරාජය වූ තරග ගණන 37කි. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලි 15කදී ජයගෙන ඇත්තේ තරගාවලි 4ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හා බලධාරීන් සිදු කරනු ලබන පරිපාලනමය දුර්වලතාවයන් හරහා මෙලෙස විනාශ වන්නේ මුළු මහත් රටක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවයයි. විෂය භාර අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩාවේ නිසි බලධරයාද වරප්‍රසාද උදෙසා පමණක් ක්‍රියාත්මක නොවී ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උන්නතිය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් මෙවැනි පරාජයන් ඉදිරියේදීත් අරුමයක් නොවනු ඇති. 2019 ලෝක කුසලානයට වැඩි කල් නොමැත. බලධරයිනි දැන්වත් අවධි වන්න....