පොහොර නිකුත් කිරීමේ අක්‍රමිකතා සෙවීමට කණ්ඩායමක්

පොහොර නිකුත් කිරීමේදී වන අක්‍රමිකතා සෙවීමට කණ්ඩායමක්

by Staff writer 18-09-2018 | 8:52 AM
COLOMBO (News 1st) : මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ. ජාතික පෙහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, පැමිණිලි දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදීමට ද පියවර ගෙන ඇති බවයි. අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කළේ ය. මහ කන්නයේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 8කි. ඒ සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය මේ මස අග වන විට ගබඩා වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා පැවසී ය. ඔහු පැවසුවේ, මේ වන විටත් දිවයිනේ වෙරළබඩ කලාපයේ දිස්ත්‍රික්ක කිහිපයක මහ කන්නය ආරම්භ කර ඇති බවයි. ඒ අනුව වී ගොවීන් සඳහා හෙක්ටයාර් 2ක උපරිමයකට යටත්ව රුපියල් 500 බැගින් පොහොර කිලෝග්‍රෑම් 340ක් මිලදී ගැනීමට හැකියාව පවතී. අතිරේක භෝග වගා කරුවන්ට පොහොර අලෙවි කරනු ලබන්නේ, රුපියල් 1500ක මිලකට බව ද අධ්‍යක්ෂවරයා පැවසී ය.