by Staff writer 18-09-2018 | 9:32 PM
COLOMBO (News 1st) - ආණ්ඩු බලය දරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණය පරාජයට පත් විය.
ඉන් පසු පක්ෂය යළි ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආදාළ යෝජනා ඉදිරිපත් කිරීමට රුවන් විජේවර්ධන කමිටුව පත් කළේ ය.
කමිටුව විසින් අධ්‍යයනය කර ඉදිරිපත් කළ යෝජනාවන්ට අද වන විට සිදුව ඇත්තේ කුමක් ද?
මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.
සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වූ රුවන් විජේවර්ධන කමිටුව 2018 මාර්තු මාසයේදී දින 3ක් අරලියගහ මන්දිරයේ රැස්වී වාර්තාව සකස් කොට ලබා දුන් අතර එහිදී පහත යොජනා ඉදිරිපත් කළේ ය.
එහි පළමු යෝජනාව වූයේ පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීයකරණයකට ලක් කළ යුතු බව ය.
ඒ සඳහා ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට පසුව පක්ෂ නායකත්වය ඡන්දයකට යොමු කිරීමට ව්‍යවස්ථාව තුළ ඉඩකඩ තිබිය යුතු බව යෝජනා කර තිබේ.
පක්ෂයේ සභාපති, මහ ලේකම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම වඩා ක්‍රියාශීලී නායකයින්ට ලබා දීම විජේවර්ධන කමිටුවේ තවත් ප්‍රධාන යෝජනාවකි.
පක්ෂය තුළ ප්‍රබල ප්‍රතිසංවිධානයක් විය යුතු බවට පවතින ජන මතයට ගරු කරමින් පක්ෂයේ මීළඟ නායකත්වය පත් කිරීම ද යෝජනා කෙරිණි.
රට පුරා ගොස් පක්ෂයේ සංවිධාන ගොඩනැගීමට නියෝජ්‍ය නායකතුමාට පක්ෂ ව්‍යවස්ථාවෙන් බලතල පවරා දීම ද තවත් යෝජනාවකි.
පක්ෂයේ මහ ලේකම් ධූරය සඳහා පක්ෂයේ ඕනෑම අයෙකුට සෘජුව සම්බන්ධීකරණය විය හැකි පරිදි ඉදිරි මැතිවරණයකදී ජාතික ලැයිස්තුවෙන් පත්වීමේ පදනම මත දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පත් කිරීමට යෝජනා කෙරිණි.
රුවන් විජේවර්ධන කමිටු වාර්තාව තුළ සාධනීය යෝජනා රැසක් තිබුණ ද අවසානයේ සිදු වූයේ පක්ෂ මහ ලේකම් ධූරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්වීම පමණි.
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය ව්‍යවස්ථාව යොදා ගනිමින් බලය තහවුරු කර ගන්නා අයුරින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා සතු බලතල ඩැහැ ගැනීමට ද ක්‍රියා කළේ ය.