පුවක්පිටියේදී දුම්රියේ ගැටී සද්ධන්තයින් 4 දෙනෙකු මරුට

පුවක්පිටියේදී දුම්රියේ ගැටී සද්ධන්තයින් 4 දෙනෙකු මරුට

පුවක්පිටියේදී දුම්රියේ ගැටී සද්ධන්තයින් 4 දෙනෙකු මරුට

කර්තෘ Staff writer

18 Sep, 2018 | 6:41 am

COLOMBO (News 1st) – කොළොන්නාව සිට මඩකලපුව දක්වා තෙල් ප්‍රවාහනය කළ දුම්රියේ ගැටීමෙන් වන අලි 4 දෙනෙක් මිය ගියහ.

ඒ අතර කළල අවස්ථාවේ සිටි සති 18ක කුඩා පැටවෙකු ද වේ.

අද අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදු වුණේ පලුගස්වවැව, ගල්ඔය අතර පිහිටි පුවක්පිටිය ප්‍රදේශයේදී ය.

දුම්රිය මාර්ගය මත සිටි වන අලි රංචුවේ ගැටීමෙන් දුම්රිය පීළි පැන මාර්ගයෙන් ඉවතට ගොස් තිබූ අතර අනතුරින් තෙල් ටැංකි දෙකක් පෙරළී තිබිණි.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ද මේ හේතුවෙන් අඩාල වූ බව ය.

කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහවට සීමා කර ඇති අතර මඩකලපුව සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය ගල්ඔය දක්වා සීමා කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ හුරුළු රක්ෂිතයේ සිට තුම්බිකුලම රක්ෂිතයට වන අලි හුවමරු වන අලි මංකඩක් ලෙස මෙම ස්ථානය හඳුනාගෙන ඇති බව ය.

අලි මංකඩක් බවට හඟවන දුම්රිය සංඥා පුවරුවක් ද එම ස්ථානයේ පිහිටුවා තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 18,12,8 පමණ වයස්වල පසුවූ අලි තිදෙනෙකි.

මේ අතර අනතුරට ලක්වූ ඉන්ධන ටැංකිවලින් ගලායන ඩීසල් එක් රැස්කිරීමට පැමිණි පිරිසක් ද දැකගත හැකි විය.

මිය ගිය වන අලීන්ගේ මරණ පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්විණි.

අප කළ විමසීමකදි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, සමස්ත අලි මරණ ප්‍රමාණයෙන් 4%ක් දුම්රිය ගැටීමෙන් සිදු වන බව ය.

ගත වූ කාල සීමාව තුළ වන අලි 10කට ආසන්න ප්‍රමාණයක් දුම්රියේ ගැටී මිය ගිය අතර පසුගිය මාස කිහිපය තුළ වන අලි 150ක් පමණ විවිධ හේතුන් නිසා මිය ගොස් ඇතැයි ඔහු සඳහන් ක‍ළේ ය.

පොළොන්නරුව සෝමාවතිය රක්ෂිතයේ පෙරියආරු ගගේ වගුරු බිමක සිරවී මිය ගිය වන අලි 7 දෙනෙකුගේ සිරුරු හමු වූයේ පසුගිය පළමු වන ද ය.

මේ අතර දුම්රියේ වන අලි ගැටීම වැළැක්වීමට විකල්පයක් ලෙස නියමු ව්‍යාපෘතියක් සිදු කළ එහි දත්ත හා නිර්දේශ තවමත් අමාත්‍යංශයෙන් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කෙන්යාවේ වන අලි ගහණය 15300 ක් පමණ වේ.

මෙම අලි ගම්වැදීම වැළැක්වීම සදහා ඔවුන් යොදාගෙන ඇති උපක්‍රමය වන්නේ කළු ගල් යොදා ගනිමින් බාධක ඇති කර තිබීමයි.

ජාත්‍යන්තර උපදේශකයින්ගෙන් ඩොලර් මිලියන ගණන් ගෙවා උපදෙස් ගැනීමට දැන් අවශ්‍යතාවක් ඇති නොවනු ඇති.

සැමගේ යහපත උදෙසා නිව්ස්ෆස්ට් මේ උපදෙස ලබා දෙන්නේ නොමිලේයි.