පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය ඉන්දියාවට

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය ඉන්දීය ගුවන් සේවා අධිකාරියට

by Staff writer 18-09-2018 | 3:19 PM
COLOMBO (News 1st) - පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද වාර්තා කළේ ය. ඉන්දීය ගුවන් සේවා අධිකාරියේ ඉඩම් කළමනාකරණ සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු භාරව සිටින විධායක අධ්‍යක්ෂ අනිල් ගුප්තා සහ එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාන්ඩේ යන මහත්වරුන් ඊයේ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට අදාළ ගිවිසුමක් අත්සන් කර තිබේ. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළේ, පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සවිස්තර වාර්තාවක් සකස් කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බව ය. එම ආයතනය මේ වන විට ඉන්දියාවේ නාගරික හා නාගරික නොවන ගුවන්තොටුපොළ 60 කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කර ඇති අතර මහා පරිමාණයෙන් විදෙස් රටවලට සිය ව්‍යාපෘති පුළුල් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බව ද පුවත්පත් වාර්තාවේ සඳහන් ය. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පවසන්නේ, උතුරු පළාතේ ඉල්ලීමක් පරිදි පලාලි ගුවන්තොටුපොළ දියුණු කිරීමට ඉන්දියාව මීට කලකට පෙර එකඟතාව පළ කර තිබූ බව ය. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමත් සමග දකුණු ඉන්දියාවට, මලයාසියාව හා තායිලන්තය වැනි ගමනාන්තවලට උතුරු පළාතේ ජනතාවට සෘජුව ගමන් කිරීමේ පහසුකම සැලසෙනු ඇතැයි එහි සඳහන් ය. පළාලි ගුවන්තොටුපොළට අමතරව කන්කසන්තුරේ සහ මත්තල ගුවන්තොටුපොළ දියුණු කිරීමට ද ඉන්දියාව යෝජනා කර ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පවසයි. යාපනය, පලාලි ගුවන්තොටුපොළ තවත් මත්තලක් වෙයි ද?