හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට සිට කාලගුණයේ වෙනසක්

by Staff writer 16-09-2018 | 4:51 PM
COLOMBO (News 1st) : දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින කාලගුණ තත්වයේ සුළු වෙනසක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි. දිවයින හරහා සුළගේ වේගය සුළු වශයෙන් වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. විශේෂයෙන් හම්බන්තොට, මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක පමණ තද සුළං ද ඇති විය හැකියි. අද දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ නුවරඑළිය ප්‍රදේශයෙන් වන අතර එය සටහන් වූයේ මිලිමීටර් 37.6 ක් ලෙසයි. බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතන අගය මිලිමීටර් 6.6කි. අද දිනයේ වැඩිම උෂ්ණත්වය වව්නියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය දැක්වුණේ, සෙල්සියස් අංශක 37.3 ක් ලෙසයි. ඊට අමතරව අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, රත්නපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් අදත් සෙල්සියස් අංශක 35 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා විය. මේ අතර දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 9 කට අධික පුද්ගලයින් පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, උතුරු පළාතට බවයි. වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා සහන මල්ලක් ලබාදීමට පියවර ගෙන ඇති බව ද ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.