පිලිපීනයේ ජීවිත 29ක් බිලිගත් මැන්ඛුට් චීනයට කඩාවදී

පිලිපීනයේ ජීවිත 29ක් බිලිගත් 'මැන්ඛුට්' චීනයට කඩාවදී

by Staff writer 16-09-2018 | 6:27 PM
COLOMBO (News 1st) : අග්නිදිග ආසියානු කලාපයට බලපෑ මැන්ඛුට් සුළිකුණාටුවේ බලපෑමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 49 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට චීනයේ ජනාකීර්ණම පළාත වන ගුවාන්ග්ඩොන්ග් වෙත ඇතුළු වූ මැන්ඛුට් සුළිකුණාටුව, පැයට කිලෝමීටර් 162 ක වේගයකින් හමායන බවයි. හොංකොං හා මැකාව් දූපත් හරහා මැන්ඛුට් කුණාටුව, චීනයට ඇතුළු වූයේ පිලිපීන වැසියන් 29 දෙනෙකුට ද මරු කැඳවමිනි. සුළිකුණාටුවේ අවදානම හමුවේ මේ වනවිට ගුවාන්ඩොන්ග් පළාතේ පුද්ගලයන් දහස් ගණනක් ආරක්ෂිත ප්‍රදේශ කරා යොමුකර ඇති අතර එම ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබේ. මැන්ඛුට් සුළිකුණාටුව, ලබන අඟහරුවාදා වන විට අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා බලධාරීහු සඳහන් කළහ. මැක්ඛුට් සුළිකුණාටුවේ බලපෑමෙන් තුවාල ලැබු පුද්ගලයන් සංඛ්‍යාව 111කි. සුළිකුණාටුවේ බලපෑම හමුවේ හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්ගමන් 800 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණු අතර ඉන් මගීන් ලක්ෂයකට අධික පිරිසක් අපහසුතාවයට පත්විය. සුළිකුණාටුව හේතුවෙන් අවතැන් කඳවුරුවල දිවිගෙවන පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂයකට අධික වේ.