ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අදිසි ස්ථාන මාරුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අදිසි ස්ථාන මාරුවක්

by Staff writer 15-09-2018 | 8:29 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ. ස්පොර්ට්ස් ෆස්ට් මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව සනාත කළේ ය. ආයතනයේ සිදු කෙරෙන වෙනස්කම් හේතුවෙන් මාරුවීම් හා සේවය අත්හිටුවීම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සහකරුවෙකු ලෙස කටයුතු කළ චානක ද සිල්වා මහතා මග්ගොන පිහිටි සරේ විලේජ් ක්‍රීඩාංගණයට මාරු කර යවා ඇති අතර, තීරු ලිපි සකසන්නන් ලෙස කටයුතු කල බන්දුල මොල්ලිගොඩ හා ශ්‍රියාන් ඔබේසේකර මහත්වරුන්ගේ සේවය මින් ඉදිරියට අවශ්‍ය නොමැති බව දන්වා තිබේ. චානක ද සිල්වා වසර 18කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයට අනුයුක්තව සිටියේ ය. මාධ්‍යවේදීන් සමග මනා සබඳතාවක් ගොඩනගා ගනිමින් ඔහු සිය කාර්යයේ නිරත වූ අතර තරගවලට මාධ්‍ය හැඳුනුම්පත් සකස් කිරීමේදී වැඩි වගකීමක් පැවරුණේ ඔහුට ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්බුදකාරී තත්ත්වයක තිබියදී පවා චානක ද සිල්වා මහතා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්ති නාමය රැක ගැනීමට ඉදිරිපත්ව සිය වගකීම ඉටු කළ නිලධාරියෙකි. පසුගිය වකවානුවේ ඔහුගේ රාජකාරී වඩාත් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිවැය දරා ඔහු වීඩියෝ සංස්කරණ පාඨමාලාවක් සඳහා ද යොමු කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය වෙත කළමනාකරුවන් ලෙස දිනේෂ් රත්නසිංහම් සහ ප්‍රසන්න රොඩ්රිගෝ යන මහත්වරුන් බඳවා ගැනුණේ ඉන් අනතුරුව ය. ඔවුන් එම තනතුරුවලට එක් වීමෙන් අනතුරුව ද චානක ද සිල්වා මහතා සුපුරුදු පරිදි සිය කටයුතුවල නිරත විය. ඔහු 2017 ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි පන්දුවාර 20යි 20 තරගය ලාහෝර්හිදී පැවැති අවස්ථාවේදී පකිස්ථානයට ගොස් එහි මාධ්‍ය සම්බන්ධීකරණ කටයතු සිදු කළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවදානමකට මුහුණ දෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන්නට ගිය බව කියන බරපතල මුදල් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ද විමර්ශන ආරම්භ කර තිබේ. චානක ද සිල්වා, මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණය වෙත මාරු කළ බව ද වාර්තා වූයේ එවන් පසුබිමක ය. එළැඹෙන එංගලන්ත - ශ්‍රී ලංකා තරග සංචාරයේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් වැඩි වගකීමක් පැවරී තිබුණු චානක ද සිල්වා මහතා මෙලෙස හදිසියේ සරේ විලේජ් ක්‍රීඩාංගණයට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කර ඇත්තේ ඇයි ද යන්න ගැටලුවකි. ආයතනයේ වැඩ සිදු කරමින් වසර 18ක අත්දැකීම් ද ලැබූ චානක ද සිල්වා මහතාට මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයට ගොස් ඉටු කළ හැකි වගකීම කුමක් ද ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් කැපවීමෙන් මිල කළ නොහැකි නිහඬ සේවාවක් ඉටු කරන නිලධාරීන්ව මාරු කර යවා දූෂණ වංචා සිදු කරන නිලධාරීන් රැක ගැනීමට ඉදිරියට පැමිණෙන බලධාරීන් දිනෙන් දින මේ විනාශ කරන්නේ මිලියන 20ක් වූ මෙරට ජනතාව ජාති ආගම් බේදයකින් තොරව ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්ති නාමය නොවේ ද ? ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇමතිතුමනී, ඔබ තුමා මේ බව නොදන්නේ ද? නොඑසේ නම් නොදන්නා ලෙස සිටින්නේ ද? මේ පිළිබඳව ක්‍රියාත්මක වන්නේ කවදා ද? සුපුරුදු පරිදි ක්‍රිකට් ලෝලියාගේ එකම පැතුම මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වීම පමණක් ද?