by Staff writer 15-09-2018 | 10:07 PM
COLOMBO (News 1st) - අඛණ්ඩව මහජන ගැටලු විමසා ඉදිරිපත් කළ ගම්මැද්ද ගෙයින් ගෙට 3 වන අදියරේ 19 වන දිනය අදයි.
අසරණ මිනිසුන් වෙසෙන දුර බැහැර ගම්මානවලට මෙන්ම කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට ද අපේ කණ්ඩායම් ගමන් කළහ.
කළුතර ගල්පොත්තාව ඇතුළු ගම්මානවල වාසය කරන බොහෝ දෙනා ගොවීන්.
එහෙත් ජල හිඟය හේතුවෙන් වසර ගණනාවකින් ඔවුන් ගොවිතැන් කර නොමැත.
පිටවාන සකස් කර දෙන්නැයි බලධාරීන්ට දැන්වුවද ඵලක් වී නොමැත.
එහෙත් පුරන් වූ කුඹුරු අක්කර 30කින් පමණ අක්කර බදු නම් අය කරන බව ගොවීහු පැවසූහ.
ගොවීන්ට ගොවිතැන අත්හැර රබර් කිරි කැපීමට හෝ කුලී වැඩවලට යාමට සිදුවීම ඛේදවාචකයකි.
පවුල් 250ක් පමණ මෙහි සිටින අතර විවිධ ගැටලු නිසා තරුණ පරපුරේ අනාගතය අවිනිශ්චිත බව
ගම්වැසියෝ ප්‍රකාශ කළහ.
යාපනය තෙල්ලිප්පලෙයි ගම්මානයේ පවුල් 550ක් පමන වාසය කරන අතර ඔවුන් ජීවත් වන්නේ ගැටලු රැසකට මැදිවයි.
පිවිසුම් මාර්ගය අබලන් වීම නිසා දෛනික කටයුතු අඩාල වී තිබෙන අතර ජල හිඟය තවත් ප්‍රශ්නයකි.
පාසල් දරුවන් 200ක් පමණ සිටින අතර ප්‍රවාහන අපහසුතා නිසා ඔවුන් කිලෝමීටර 4 ක් පමණ පයින් යන බව මව්පියෝ පැවසූහ.
වලිකාකමම් උතුර මයිලඩ්ඩි ගම්මානයේ සිටින්නේ ධීවරයින්.
පවුල් 350ක් පමණ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව පානීය ජල හිඟයයි.
පවුල් 450ක් වෙසෙන යාපනය කට්ටෙයිකාඩු ධීවර ගම්මානයේ ජනතාව ද ගැටලු රැසක් පෙන්වා දුන්නේ ය.
ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඇතැම් පිරිස් මෝටර් යොදා ගෙන දැල් ඇදීම නතර කළ නොහැකි වීමයි.
මත්ස්‍ය සම්පත විනාශ වීම අපරාධයක් බව මොවුහු පැවසූහ.
මාර්ග අබලන්ව ඇති නිසා බොහෝ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
කේවිල් ගම්මානයේදී අප හමුවූ ජනතාව පැවසුවේ නිවාස ගැටලුව ප්‍රමුඛ බවයි.
ඔවුන් ඉතා දුක සේ පැල්පත් නිවාසවල වෙසෙන අතර එහි විදුලිය ද නොමැත.
නුවරඑළිය දිඹුල වතුයායේ සිටින්නේ තේ කර්මාන්තයෙන් දිවි සරි කර ගන්නා පවුල් 150ක්.
ඔවුන්ගේ දෛනික වැටුප බෙහෙවින් අඩු ය.
ඊට විසඳුමක් නොමැති නිසා මොවුන් කලක සිටම ගත කරන්නේ ගැටලුවලින් පීඩිත ජීවිතයකි.
දවසම වෙහෙසී තේ දළු නෙළා නිවසට පැමිණියත් ඔවුන්ට කිසිදු විවේකයක් නොමැත.
හේතුව ජලය සොයා කඳුකරයේ ඇවිද යාමට සිදුව ඇති නිසයි.
ක්වීන්ස්බරි වතුයායට ද අපේ කණ්ඩායම ගමන් කළේ ය.
ප්‍රවාහන අපහසුතාව මොවුන්ගේ මූලික ගැටලුවකි.
තමන්ගේ දුෂ්කරතා පිළිබඳව වගකිවයුත්තන් කිසිදු තැකීමක් නොකරන බව මේ ජනතාව අප සමග පැවසුවේ ය.
නුවරඑළිය කුරුපනාවෙල ගම්මානය පවුල් 250කින් යුක්තයි.
පයින්වත් යා නොහැකි තරමට මාර්ගය අබලන් ය.
යාබද ගම්මානයට යාමට පාලමක් නොමැති අතර මොවුන් ඉල්ලා සිටින්නේ, සියල්ලට පෙර මාර්ගයක් සාදා දෙන ලෙසයි.