එජාප මන්ත්‍රීවරියක් අගමැතිගේ උත්සවය වර්ජනය කරයි

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අගමැති සහභාගී වූ උත්සවය වර්ජනය කරයි

by Staff writer 15-09-2018 | 7:53 PM
COLOMBO (News 1st) - නව සමෘද්ධි ලාභීන් 5000ක් සඳහා සහනාධාර පත්‍ර ලබා දීම අද මාතලේදී සිදු කෙරිණි. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. වසර 2030 වන විට දිළිඳු කමින් තොර ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ මෙම නව සමෘද්ධි සහනාධාර ප්‍රදානය සිදු විය. මේ අතර මෙම උත්සවය සඳහා මාතලේ නගරයේ මහා මාර්ග මෙන්ම පදික වේදිකාවලට හානි සිදු කරමින් සැරසිලි කර තිබූ ආකාරය අප කැමරාවට හසු විය. නව සමෘද්ධි ලාභීන් තෝරා ගැනීම විධිමත්ව සිදු ‍නොවුණු බවට චෝදනා කරමින් ඊට විරෝධය දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය අද මෙම උත්සවයට සහභාගී නොවීය. මෙරට පාලනය කළ සියලු ම නායකයින් තරයේ ප්‍රකාශ කර සිටියේ, තම පාලන සමය තුළ රටත් ජනතාවත් සුඛිත මුදිද කළ බවත් ආදායම ඉහළ නැංවූ බවත් මෙන්ම දුප්පත්කම තුරන් කර බවත් ය. නමුත් හාස්‍යජනක කාරණය වන්නේ, වසර ගණනාවක් ගත වී ඇති නමුත් සමෘද්ධි ලාභීන් සංඛ්‍යාව ඉහළ යාමයි. එනම් දුගී දුප්පත්කම ඉහළ යන බව ය. එසේ නම් සංවර්ධනයේ නාමයෙන් බලධාරීන් ජනතාවට පෙන්වා සිටින සංඛ්‍යා ලේඛන විකෘත්ති හෝ තම වාසිය පිණිස සකස් කර ගත් ව්‍යාජ ඒවා ද?