එදා මෙදා තුර රුපියල බාල්දු වුණේ මෙහෙමයි

by Staff writer 15-09-2018 | 9:39 PM
COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීමත් සමග අමෙරිකානු ඩොලරයක වටිනාකම මේ වන විට රුපියල් 164 ඉක්මවා ගොස් තිබේ. 1977 වසර් ජනවාරී මාසයේදී අමෙරිකානු ඩොලරයක මිල පැවතුනේ රුපියල් 8.95ක් ලෙසයි. එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනීද මෙල් මහතාගේ ධූර කාලය නිමා වන විට ඩොලරය රුපියල් 36 දක්වා ඉහළ ගියේ ය. එතැන් පටන් ඇරඹි ප්‍රේමදාස යුගය තුළ නයින මරික්කාර් හා ඩී.බී. විජේතුංග යන මහත්වරුන් මුදල් අමාත්‍ය ධූරය දැරූ අතර එම යුගය අවසන් වන විට ඩොලරය රුපියල් 49.17 දක්වා වැඩි විය. අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලය තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කේ.එන්.චොක්සි, සරත් අමුණුගම යන මහත්ම මහත්මීන් මුදල් අමාත්‍ය ධූරය දැරූ අතර ඩොලරය රුපියල් 49.17 සිට රුපියල් 100 දක්වා 100% ඉහළ ගියේ ය. ජනාධිපති ධූරය හා මුදල් අමාත්‍ය ධූරය යන දෙකම හෙබවූ මහින්ද රාජපක්ෂ පාලනය නිමා වූ 2015 වසර වන විට ඩොලරය රුපියල් 135 දක්වා වැඩි විය. නමුත් වසර 3ක් වන යහපාලන රජයේ රවි කරුණානායක සහ මංගල සමරවීර මුදල් අමාත්‍ය ධූරය දැරූ කාලය තුළ එය දැනටම රුපියල් 164 දක්වා ඉහළ ගොස් තිබේ. එදා මෙදා තුර සියලු ආණ්ඩු යටතේ රුපියලට සිදුව ඇති දේ මෙලස පිළිබිඹු වන විට මහජනතාව කියන්නේ කුමක් ද? අනේ අපි කවදාක හිනෙහෙමුද මේ රටේ....