ගිවිසුම අහිතකර නම් තීරණයක් ගැනීමට පසුබට වෙන්නෙ නෑ

කමිටු නිර්දේශ මත සිංගප්පුරු ගිවිසුමේ සංශෝධන කරන බව ජනපති කියයි

by Staff writer 14-09-2018 | 11:29 AM
COLOMBO (News 1st) : තමන් පත් කළ කමිටුව ලබාදෙන නිර්දේශ මත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමේ සංශෝධන සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිතුමා කියා සිටියේ කමිටු නිර්දේශවල ගිවිසුමේ අහිතකර කරුණු ඇතැයි සඳහන් වුවහොත්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි. එම නිසා සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමේ ඇති කරුණු සම්බන්ධයෙන් තමන් පත් කළ කමිටුව හමුවට ගොස් කරුණු ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා සියලුම පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේ ය. තමන් කිසිදු අවස්ථාවක මැතිවරණ කල් දැමීමට අදහස් නොකරන බව පැවසු ජනාධිපතිතුමා , සීමා නිර්ණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගැටලු නිරවුල් වූ වහා පළාත් සභා ඡන්දය පවත්වන බව කියා සිටියේ ය. ජනාධිතිවරයා කියා සිටියේ රටේ ඡන්ද තුනෙන්ම මනාප ක්‍රමය ඉවත් කිරීම තම අරමුණ බවයි. තනතුරු දරණ ඇතැම් පුද්ගලයින් ඒ සඳහා සුදුසු දැයි නැවත සලකා බැලිය යුතු බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී පැවසී ය. ඔහු කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද දැඩි ස්ථාවරයක සිටින බවයි. මේ අතර, තමා ඝාතනය කිරිමේ ක්‍රමන්ත්‍රණයක් ඇතැයි කෙරෙන ප්‍රකාශ පිළිබඳව පොලිසියේ විශේෂ ඒකකයක්, පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. එහි ප්‍රගතිය විමසා බැලීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු පිරිස විශේෂ සාකච්ඡාවක කැදවා ඇතැයි, ජනාධිපතිවරයා මෙම හමුවේදී පැවසී ය. මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය. අදාළ යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වයන් සුහදව විසඳා ගන්නේ, කෙසේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව ද, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බවයි. මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පළ වන මත සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළේ ය. ජනාධිපතිවරයා කියා සිටියේ, රටේ ආරක්ෂක තත්ත්වය සහ යුධ හමුදාව කිසිසේත් දුර්වල වී නොමැති බවයි. තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කර, සැකපිට සිටින ආරක්ෂක අංශ සමාජිකයින්ට තවමත් නඩු නොපවරා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයට පත් කිරිම සම්බන්ධයෙන්, පොලීසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, මිල සුත්‍රය හරහා සිදුව ඇත්තේ, මිල ඉහළ යාම බවයි. එබැවින් ඉන්ධන මිල සුත්‍රය ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද, ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය. 2019 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියා සිටියේ ය.