20 වන සංශෝධනය අවංක අරමුණකින් ගෙන එන්නක් ද?

20 වන සංශෝධනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවංක අරමුණකින් ගෙන එන යෝජනාවලියක් ද?

by Staff writer 14-09-2018 | 8:15 PM
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන 17 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පෞද්ගලික යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අද සලකා බැලුනේ වැඩබලන අගවිනිසුරු සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා මූර්දෘ ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ ය. එහිදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දැක්වුවේ ය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සිට පත් වූ සෑම ජනාධිපතිවරයෙක්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දු වී ජනතාවගෙන් බලය ඉල්ලා සිටි බව සුමන්තිරන් මහතා එහිදී ප්‍රකාශ කළේ ය. ඔහු කියා සිටියේ, වර්තමාන ජනාධිපතිවරයා ද ජන වරමක් ලබාගෙන ඇත්තේ එකී කරුණ මුල් කරගෙන බැවින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ය. මේ වන විට පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කරමින් සිටින අතර වාරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යැයි පවසමින් 20 වන සංශෝධනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එම්.ඒ. සුමන්තිරන් සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු මේ දිනවල රට වටා යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශන පවත්වමින් සිටිති. ඊයේ කුරුණෑගල පැවති එවැනි සම්මන්ත්‍රණයකට ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා ද සහභාගී විය. ජයම්පති වික්‍රමරත්න මහතා පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව එහිදී අදහස් දක්වද්දී නාමල් කරුණාරත්න මහතා 20 වන සංශෝධනය පිළිබඳව අදහස් පළ කළේ ය. 20 වන සංශෝධනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවංක අරමුණකින් ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනාවලියක් ද? වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ගෙන ආ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ද මූලිකත්වය ගත්තේ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් ය. ජනාධිපතිවරයාගේ විධායක බලතල කප්පාදු කරන බව පවසමින් එහිදී සිදු වූයේ කුමක් ද? අවසානයේ අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට පවා නොහැකි තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මාධ්‍යය මර්දනයට ගෙන ආ වගන්ති සම්මත කර ගැනීමට නොහැකි වූයේ අධිකරණයේ පිහිට පැතූ නිසයි. මධ්‍යස්ථ ව්‍යවස්ථා විශාරදයින්ගේ මතය වී ඇත්තේ විධායක ජනාධිපති බලතල සීමා කරන මුවාවෙන් අගමැතිවරයාගේ බලතල වැඩි කර ගෙන ඇති බව ය.