ෆ්ලොරන්ස් කුණාටුවට මුහුණ දීමට ඇමරිකාව සුදානම්....

ෆ්ලොරන්ස් කුණාටුවට මුහුණ දීමට අමරිකාව සුදානම්....

by Staff writer 14-09-2018 | 7:39 AM
(News 1st) :  ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් විශාල ජීවිත හානි සංඛ්‍යාවක් සිදුවිය හැකි බවට අමරිකානු හදිසි ආපදා කළමනාකරණ ආයතනය අනාවැකි පළ කර තිබේ. ‍ එම ආයතනය නිවේදනය කරන්නේ සුළි කුණාටුව රට තුළට ඇතුළු වීමත් සමග විශාල ගංවතුර තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි. උතුරු කැලොරිනා, දකුණු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්තවලින් ඉවත් වන්නැයි පුද්ගලයින් මිලියන 1.7 කට මේ වන විටත් අනතුරු ඇඟවීම් නිකුත් කර අවසන් ය. උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ඇද හැළෙමින් ඇතැයි එරට කාලගුණ බලධාරීහු පැවසූහ. තද සුළං තත්ත්වයත් සමග පවුල් 11000 කට විදුලිය සැපයුම ද බිඳ වැටී තිබේ. කාලගුණ අංශ පවසන්නේ ෆ්ලොරන්ස් සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයෙන් අද, අමරිකාවට ඇතුළු වනු ඇති බවයි. මෙය දශක 6කට පසු අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩාවදිනු ඇතැයි විශ්වාස කෙරෙන ප්‍රබලම සුළිකුණාටුව වනු ඇති. කුණාටු අවදානම හේතුවෙන් ජෝර්ජියාව, උතුරු සහ දකුණු කැරොළිනා, වොෂින්ටනය, වර්ජිනියා සහ මේරිලන්ඩ් යන ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ. දෙවන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන ෆ්ලොරන්ස් මේ වන විට හමා යන්නේ පැයට කිලෝමීටර 165 ක වේගයෙනි.