ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද?

ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද?

by Staff writer 14-09-2018 | 8:40 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන්නට ගිය බව කියන බරපතල මුදල් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. නමුත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතූ අමෙරිකානු ඩොලර් මිලියන 11ක මුදලින් පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයක් සම්බන්ධයෙන් අපි තොරතුරු අනාවරණය කළෙමු. ඊයේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවූ මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ, අවස්ථා දෙකකදී මෙම ගෙවීම්වලට අදාළව විකාශන කටයුතු සිදු කරන ඉන්දීය සමාගමට ඉන්වොයිස් පත් යවා ඇති බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශ ප්‍රධානියා, පෞද්ගලික ලේකම්වරියක් හා ගිණුම් තබන්නාගේ අත්සන් ව්‍යාජ ලෙස ඊට යොදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා ඊයේ අනාවරණය කළේ, හිටපු සභාපතිවරයාගේ සමාගමක සේවය කළ අයෙකු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ඒකකයේ ගිණුම් තබන්නෙකු ලෙස කටයුතු කරන බව ය. මේ අතර හොංකොංහි බැංකුවක පවත්වාගෙන ගිය මෙම ගිණුමේ ප්‍රතිලාභියා වූයේ, ෆන්යා සිලු නමැති සමාගමකි. ස්පෝර්ට්ස් ෆස්ට් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාරවරණය වූයේ, 2017 වසරේ සැප්තැම්බර් මස 27 වන දා මෙම සමාගම ආරම්භ කර ඇති බව ය. හොංකොංහි ලියාපදිංචි කර තිබූ මෙම සමාගමේ බැංකු ගිණුමේ හිමිකරු චීන ජාතිකයෙකි. තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ඔහු මෙය පවත්වාගෙන ගොස් තිබේ. ෆන්යා සිලු සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් තමා ඉවත් වන බව පසුගිය සැප්තැම්බර් මස 3 වන දා ඔහු සිය බැංකුවට දන්වා තිබූ අතර වංචාව අනාවරණය වූයේ ඊට පසු දිනයි. මේ වන විට අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරුවල දැක්වෙන්නේ එම තනතුරු පත් කිරීමට නියමිතව ඇති බව ය. මෙම සිදු වීමට අදාළව දැන් ගැටලු කිහිපයක්ම මතු වේ. සැලසුම් සහගතව බරපතල මූල්‍ය අපරාධයක් සිදු කිරීමට සූදානම් වූ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබියදී තවමත් ඊට හවුල් වූ බවට සැක කරන පුද්ගලයින් අත්අඩංගුවට නොගන්නේ ඇයි? මේ අතර සිටින එක් අයෙකුට වැටුප් සහිතව නිවාඩු ලබා දීමේ අපූරු දඬුවමක් ද මේ අතර වාර්තා වේ. බැඳුම්කර වංචාව සිදු කළ බව කියන පුද්ගලයින් සැඟව සිටින අයුරින් ඊට නොදෙවෙනි මේ වංචාවට සම්බන්ධ වූවන් ද පළා නොයනු ඇතැයි විශ්වාස කළ හැකි ද? මහ මොළකරුවන් ආරක්ෂා කිරීම සඳහා බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු තවමත් සැඟ වී සිටින බව රටේ ජනතාවගේ මතයයි. ඒ අයුරින්ම ක්‍රිකට් මුදල් වංචා කරන මහ මොළකරුවන් සැඟ වී සිටීම සඳහා මේ අයුරින් වැටුප් දී නිවාඩු යවා පුද්ගලයින් අතුරුදන් නොකරනු ඇතැයි විශ්වාස කළ හැකි ද? අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසා ඵලක් නොමැත....