එජා මහ මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක්

එජා මහ මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක්

එජා මහ මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක්

කර්තෘ Staff writer

14 Sep, 2018 | 11:14 am

COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවු අවස්ථවේදීයි.

අදාළ යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වයන් සුහදව විසඳා ගන්නේ, කෙසේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බවයි.

මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පළ වන මත සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා සිය අවධානය යොමු කර තිබේ.

ජනාධිපතිවරයා කියා සිටියේ, රටේ ආරක්ෂක තත්ත්වය සහ යුද හමුදාව කිසිසේත් දුර්වල වී නොමැති බවයි.

තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කර සැකපිට සිටින ආරක්ෂක අංශ සමාජිකයින්ට තවමත් නඩු නොපවරා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයට පත් කිරිම සම්බන්ධයෙන් පොලිසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා ජනාධිපතිතුමාගේ දෝෂ දර්ශනයට ලක්විය.

මේ අතර සිංගප්පුරු වෙළඳ ගිවිසුම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළේ ය.

ජනාධිපතිවරයා කියා සිටියේ, සිංගප්පුරු වෙළඳ ගිවිසුම පිළිබඳ අධ්‍යනට පත් කර ඇති විද්වත් කමිටුව ලබා දෙන නිර්දේශ අනුව අවශ්‍ය පියවර ගන්නා බවයි.

එහිදී ගිවිසුමේ අයහපත් කොටස් ඉවත් කිරිමට පියවර ගන්නා බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම තමා භාර ගන්නා බව ද පවසා ඇත.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, මිල සුත්‍රය හරහා සිදුව ඇත්තේ, මිල ඉහළ යාම බවයි.

එබැවින් ඉන්ධන මිල සුත්‍රය ගැන ඉදිරියේදි තීරණයක් ගන්නා බව ද, ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

2019 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියේ ය.

මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ අඩුපාඩු සකස් කර ඉක්මණින් පළාත් සභා ඡන්දය පවත්වන බවයි.

සියලුම මැතිවරණවලින් මනාප ක්‍රමය ඉවත් කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.