ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 13-09-2018 | 7:00 AM
COLOMBO (News 1st)

දේශීය පුවත්...

1. හිටපු ජනපති මහින්ද ඉන්දී අගමැති මෝදි හමුවෙයි : ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වූ බවට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා අසත්‍යයක් බව ත් තම රජය යුදමය ක්‍රියාන්විතයක් දියත් කළේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව මිස දෙමළ ජනතාවට එරෙහිව නොවන බව ත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නවදිල්ලි නුවරදී පැවසූ බව හින්දු පුවත්පත වාර්තා කළේ ය. 2. ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන මහින්දගෙන් ඉඟියක් : තම සහෝදරයාට නියත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු විය හැකි බව ඉන්දියාවේ සංචාරයක නිරත රාජපක්ෂ මහතා ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් පවසා ඇත. 3. ගාලු මුහුදේදී යාත්‍රාවක් නැවක ගැටී ධීවරයින් සිව් දෙනෙක් මරුට : ගාල්ලට නාවික සැතපුම් 30 ක් දුරින් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 4 දෙනෙකු මියගොස් තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බන්ඩාර මහතා සඳහන් කළේ, යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් මගින් බේරාගත් බවයි. 4. ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ් : තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 5.  ගෝඨාභය රාජපක්ෂ CIDය හමුවට : මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. විදෙස් පුවත්... 1. නවාස් ෂරීෆ්ට පැය 12ක නිදහසක් : බන්ධනාගාරගතව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ලාහෝරයට පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමග බන්ධනාගාරගතව සිටින දියණිය මර්යාම් නවාස් ද ලාහෝරයේ නිවසට පැමිණ ඇති බව ය.