මොහොමඩ් සිද්ධික් නිදොස් කොට නිදහස්....

කුඩු ජාවාරම්කරුවෙකු බව කී මොහොමඩ් සිද්ධික් නිදහස්

by Staff writer 13-09-2018 | 11:58 AM
COLOMBO (News 1st) : ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්ධික් නමැත්තා ඇතුළු 5 දෙනෙකු හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියෝග කළේ ය. ඒ, එම වැටලීම සිදුකළ එවකට සහකාර පොලිස් අධිකාරීවරයකු වූ ප්‍රියන්ත ජයකොඩි සහ රංගන ගමගේ නමැති පොලිස් නිලධාරීන් දුන් සාක්ෂි පරස්පර බව පෙන්වා දෙමිනි. මේ අනුව විත්තකිරුවන්ට නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර නොමැති බවට නියගමනය කළ විනිසුරුවරයා, විත්තියේ සාක්ෂි විභාගයකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝගය කළේ ය. 2003 වසරේ පෙබරවාරි 03 වැනිදා හෙරොයින් ග්‍රෑම් 8.1 ක් සමග මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙකු මහරගමදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. මොහොමඩ් සිද්දික් නමැත්තා මෙම නඩුවෙන් නිදහස් කෙරුණ ද, මත්ද්‍රව්‍ය චෝදනා සහ මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව තවත් නඩු කිහිපයක් අධිකරණවල විභාග වෙමින් පවතී.