හිටපු ජනපති මහින්ද ඉන්දී අගමැති මෝදි හමුවෙයි

හිටපු ජනපති මහින්ද ඉන්දී අගමැති මෝදි හමුවෙයි

by Staff writer 12-09-2018 | 9:27 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වූ බවට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා අසත්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තම රජය යුදමය ක්‍රියාන්විතයක් දියත් කළේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව මිස දෙමළ ජනතාවට එරෙහිව නොවන බව ද හිටපු ජනාධිපතිවරයා අද නවදිල්ලි නුවරදී පැවසූ බව ද හින්දු පුවත්පත වාර්තා කළේ ය. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දිය සංචාරයක නිරත හිටපු ජනාධිපතිවරයා ඉන්දු ශ්‍රී ලංකා සහෝදරත්වයේ ඉදිරිමග යන්න තේමා කරගනිමින් පැවති සමළුවේ ප්‍රධාන දේශනය පැවැත්වී ය. එම දේශනයේදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ගේ රජය කිසිවිටකත් දෙමළ ජාතින් ඉලක්ක කර ජාතිවාදී යුද්ධයක් සිදුනොකළ බවයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදී සංවිධානයට ශ්‍රී ලංකාවට ඉන්දියාවට පමණක් නොව සමස්ත ලෝකයටම තර්ජනයක් වූ බව මෙහිදී හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේ ය. ත්‍රස්තවාදය අවසන් කිරීමේ වාසිය එක් ජාතියකට හෝ එක් රටකට සිමා නොවූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය . යුද්ධයේදී ත්‍රස්තවාදී සමාජිකයින් හතළිස් දහසක් මිය ගිය බවට පළ වූ ප්‍රචාර සාවද්‍ය බවත් එම සංඛ්‍යාව අටදහස නොඉක්මවන බව ද ඔහු සඳහන් කර තිබේ. මේ අතර අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවිය. ඉන්දියාවේ නවදිල්ලි නුවරදී එම හමුව සිදුවූ අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේ ය.