යකඩ සිල්පර 2017 හොඳ ම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයට

විමල් උදය හපුගොඩආරච්චිගේ යකඩ සිල්පර 2017 හොඳ ම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 12-09-2018 | 9:39 AM
COLOMBO (News 1st) - 2017 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස විමල් උදය හපුගොඩආරච්චි රචනා කළ යකඩ සිල්පර කෘතිය රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සව‍යේදී ය. 2017 වර්ෂයේ ප්‍රකාශිත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ප්‍රකාශිත විශිෂ්ටතම නිර්මාණාත්මක ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවෝ එහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. මෙහිදී හොඳ ම සිංහල කෙටි කතා සංග්‍රහය සඳහා වන රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබුවේ, ගිහින් එන්න කානිවල් කෘතිය රචනා කළ සුමුදු නිරාගී සෙනෙවිරත්න යි. 2017 වසරේ හොඳ ම ගී පදමාලා කෘතියට හිමි සම්මානය සඳකත් මිණ කෘතිය රචනා කළ සුනිල් සරත් පෙරේරා දිනා ගත්තේ ය. හොඳ ම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි වූයේ, සුනිල් විජේසිරිවර්ධන රචනා කළ ගිරි මුදුන මගේ නිවහන කෘතිය යි. හොඳ ම යොවුන් සාහිත්‍ය ග්‍රන්ථයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය පියසිරි මාතරගේ රචනා කළ හිඹුටුදෙණිය කඳු පාමුල කෘතිය සම්මානය දිනා ගත්තේ ය. සිංහල දෙමළ සහ ඉංග්‍රීසී මාධ්‍යයෙන් සාහිත්‍යය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය ගනනාථ ඔබේසේකර , එම්. පොන්නම්බලම් හා මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස යන මහත්වරු සාහිත්‍යරත්න සම්මානයෙන් සම්මාන උළෙලේදී පිදූම් ලැබූහ.