ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන මහින්දගෙන් ඉඟියක්

ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන මහින්දගෙන් ඉඟියක්

by Sagarika Chathumali 12-09-2018 | 6:42 PM
COLOMBO (News 1st) : තම සහෝදරයාට නියත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ සංචාරයක නිරත රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ, - ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් නායකත්වය ලබාදෙන බව පවසන මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය අනුව තමන්ට යළිත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව පිළිබඳව මත පළ වෙමින් ඇති බවයි. නමුත් එය අධිකරණය හමුවට යා යුතු කරුණක් බැවින් එම අවදානම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි, රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව වෙනත් ක්‍රියාමාර්ගයක් ලෙස සියලු දෙනාට පිළිගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කල හැකි බව ඔහුගේ අදහසයි. ජනාධිපති අපේක්ෂකයෙකුවීම සඳහා වයස අවුරුදු 35 සම්පූර්ණ විය යුතු බවට ඇතුළත් කළ වගන්ති නිසා තම පුත්‍රයාට 2019 දී තරග කළ නොහැකි බව පවසන මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම තම සහෝදරයාට 2019 ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව පෙන්වා දෙයි. නමුත් ඔහු පවසන්නේ පක්ෂය සහ සන්ධානය ජනතාවට අවශ්‍ය කවුරුන් දැයි තීරණය කරනු ඇති බවයි. මේ අතර 2015 පරාජයට හේතුව ඉන්දියාවේ රෝ සංවිධානයේ මැදිහත්වීම බවට කළ ප්‍රකාශය පිළිබඳව ද හින්දු පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසී ය. එහිදී ඔහු කියා සිටියේ තමන් රෝ සංවිධානය පමණක් නොව ජාත්‍යන්තර මැදිහත්වීම එම ප්‍රකාශයෙන් අදහස් කළ බවයි. ඉන්දියාව සම්බන්ධයෙන් මීට පෙර කළ ප්‍රකාශ වරදවා වටහාගැනීම නිසා සිදුවූ බව ද මහින්ද රාජපක්ෂ මහතා මේ සාකච්ඡාවේදීයි. ඔහු ද හින්දු පුවත්පතට අනාවරණය කර ඇත්තේ යුද්ධය පැවති 2009 කාල සීමාවේ ට්‍රොයිකා නමින් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත්කර සිටි බවයි. ඔවුන් දිවා රාත්‍රී වෙනසක් නොමැතිව ඕනෑම අවස්ථාවක සම්බන්ධවී මතුවන ගැටලු නිරාකරණය කරගත් බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු කියා සිටින්නේ වර්තමානයේ ද එවැනි යන්ත්‍රණයක් තිබිය යුතු බවයි. ඉන්දියාව සමීප ඥාතියා සහ අසල්වැසියා බවත්, චීනය දිගු කාලීන මිතුරෙකු ලෙස සලකා කටයුතු කරන බවත් පවසන මහින්ද රාජපක්ෂ මහතා චීනය සමග තමන් කළ සියලුම කටයුතුවලදී ඉන්දියාවේ අභිලාසය අමතක නොකළ බවයි.