ගාලු මුහුදේදී ධීවරයින් 4කට ජීවිත අහිමි වෙයි

ගාලු මුහුදේදී යාත්‍රාවක් නැවක ගැටී ධීවරයින් සිව් දෙනෙක් මරුට

by Sagarika Chathumali 12-09-2018 | 6:22 PM
COLOMBO (News 1st) : ගාල්ලට නාවික සැතපුම් 30 ක් දුරින් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 4 දෙනෙකු මියගොස් තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බන්ඩාර මහතා සඳහන් කළේ, යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් මගින් බේරාගත් බවයි. බේරාගනු ලැබූ ධීවරයා පවසා ඇත්තේ අද අලුයම සිය යාත්‍රාව නෞකාවේ ගැටුණු බවයි. පෙරළුණු බෝට්ටුවක පුද්ගලයකු සිටින බවට බහාලුම් නෞකාවක් මගින් නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුව අද දහවල් නාවික හමුදාව ඩෝරා යාත්‍රාවක් පිටත් කර යවා තිබේ. එහිදී අදාළ ධීවරයා බේරාගෙන ඇති අතර කිමිඳුම්කරුවන් යොදවා කළ සෝදිසි කිරීමකදී මළ සිරුරු 4 ක් සොයාගත් බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, බේරාගත් ධීවරයා සහ මෘත ශරීර මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙන එමින් ඇති බවයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය යාත්‍රාවකි.