හිටපු ජනපති ගැන ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක්

හිටපු ජනපති ගැන සුබ්‍රමනියන් ස්වාමිගෙන් ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක්

by Staff writer 11-09-2018 | 7:40 PM
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ දේශාපාලන පක්ෂ ගණනාවක ඉහළම නියෝජියෝ මේ දිනවල ඉන්දියාවේ සංචාරය කරමින් සිටිති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 19 වන දා ඉන්දියාවට පැමිණීමට නියමිත ය. තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නවදිල්ලි ගුවන්තොටුපොළේදී භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා විසින් පිළිගනු ලැබුවේ ය. මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් සුබ්‍රමනියන් ස්වාමි මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය මේ.... උපුටා ගැනීම, "අද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ බොහෝ දුරට ඊළඟ ජනාධිපති නවදිල්ලි නුවරට පැමිණියා විරාත් හින්දුස්ථාන් සංගම් ආරාධනයට අනුව. ඔහු 12 වන දා ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සහ ඉදිරි දැක්ම පිළිබඳව ආරාධිතයින් සහභාගී වන ප්‍රසිද්ධ රැස්වීමක් අමතනු ඇති" උපුටා ගැනීම අවසන්. මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දුරට යළි ජනාධිපති වනු ඇතැයි පවසන සුබ්‍රමනියන් ස්වාමි කවුද? ජනතා පක්ෂයේ හිටපු නායකයා වන ස්වාමි කලක් නීතිය පිළිබඳව අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ අතර පසුව භාරතීය ජනතා පක්ෂයට එක් විය. මේ වන විට ඔහු පාලක භාරතීය ජනතා පක්ෂයේ විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ඉන්දීය දේශාපාලන විචාරකයින්ට අනුව නරේන්ද්‍ර මෝදි පාලනයේ බළල් හස්තය නැතහොත් ප්‍රධාන කුමන්ත්‍රණකරුවෙකු වන්නේ මේ පුද්ගලයා ය. 2017 පෙබරවාරි මාසයේ ද හින්දු පුවත්පත වාර්තා කළ මේ ලිපියට අනුව ජයලලිතා ජයරාම් සහ ඇගේ සහායිකා සශිකලාට දූෂණ චෝදනා මත දඬුවම් හිමි වූයේ, සුබ්‍රමනියන් ස්වාමි මහතා කළ පෞද්ගලික පැමිණිල්ලක් මත ය. ඉන්දියාවේ දැඩි ආන්දෝලනයකට ලක් වූ දුරකතන සේවා වංචාව හෙවත් ටූ.ජී. සංඛ්‍යාත වංචාව සම්බන්ධයෙන් ද පැමිණිලි කළේ ඔහුයි. වරක් ස්වාමි තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අධිකරණය හමුවට ගියේ ය. මෙම ක්‍රියාමාර්ග නිසා දකුණු ඉන්දීය දේශපාලනය මෙන්ම ඉන්දීය ජාතික දේශපාලනය ද අවස්ථා කිහිපයකදීම දැඩි අර්බුදයකට ලක් විය. මෙවැනි පසුබිමක් ඇති සුබ්‍රමනියන් ස්වාමි මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට කැඳවා ඔහු බොහෝ දුරට ඊළඟ ජනාධිපතිවරයා වනු ඇතැයි පවසයි. මේ මතය ඉන්දීය රජයේ නිල මතය ද? නැතහොත් සුබ්‍රමනියන් ස්වාමි මෙවැනි ප්‍රකාශයක් කරමින් ස්වාධීන රාජ්‍යයක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ කාගේ හයියකින් ද? මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව 2015 වසරේ මාර්තු මාසයේ සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේ, තම පරාජය පිටුපස ඉන්දියාවේ රෝ සංවිධානය සිටින බව ය. එම පුවත ඉන්දීය පුවත්පත්වල සිරස්තලයක් බවට ද පත් විය. ඉන්දියාව තමන් පරාජය කළ බව පවසමින් දැන් මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව සමග සිදු කරන මේ ගනුදෙනුව කුමක් ද? මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව මෙරට පාර්ලිමේන්තුවේ ඉහළම තනතුරු දරණ පිරිසක් මේ දිනවල සිටන්නේ ඉන්දියාවේ යි. ඒ අතර සිටින කථානායක කරු ජයසූරිය මහතා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුස්මා ස්වාරාජ්, ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් සහ කථානායිකා සුමිත්‍රා මහාජන් යන මහත්ම මහත්මීන් හමු විය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, නිමල් සිරිපාල ද සිල්වා, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්ද, රාවුෆ් හකීම්, විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ද ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා නියෝජිතයින් අතරට අයත්. රටේ ඉහළම දේශපාලන නියෝජිතයින් ඉන්දියාව සමග මෙසේ කටයුතු කරද්දී ඉන්දීය තෙල් සමාගම තවමත් ඛනිජ තෙල් සංස්ථාවට වඩා වැඩි මිලකට පෙට්‍රල් අලෙවි කරමින් සිටියි. ඊයේ රාත්‍රියේ සිදු වූ මිල වෙනසට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ලංකා ඉන්දීය තෙල් සමාගම අලෙවි කරන්නේ රුපියලක් වැඩියෙනි. යුරෝ ෆෝ පෙට්‍රල් ලීටරයක් ඔවුන් රුපියල් 3කට වඩා වැඩි මිලකට අලෙවි කරමින් සිටියි. ඉන්දීය තෙල් සමාගමෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, මිල සූත්‍රය තමන්ට අදාළ නොවන බව ය. පුවත්පත් හා වෙබ් අඩවිවලින් දැන ගන්නා තොරතුරු මත වෙළෙඳපොළ මිල ගණන් ගලපගන්නා බව ඉන්දීය තෙල් සමාගම පෙන්වා දෙයි. මෙතරම් දුර්වල ගිවිසුම්වලට එළැඹී ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසෙන්නට ඉන්දියාවට අවසර දී ඇත්නම් අනාගතයේ රටේ බලශක්ති වෙළෙඳපොළ හැසිරවීමේ බලයත් ඔවුන් අතට පත් වෙයි ද? දැනටමත් ස්වභාවික ද්‍රව වායු සැපයීම සඳහා මධ්‍යස්ථාන ඉදිකිරීම, විදුලි බලාගාර ඉදිකිරීම ඇතුළු මහා පරිමාන බලශක්ති සැපයුම් වෙළෙඳපොළට පිවිසීමට ඉන්දියාව සූදානම් වෙමින් සිටියි. ශ්‍රී ලංකාව මෙවැනි පසුබිමක සිටියදී නේපාලය ඉන්දීය ග්‍රහණයෙන් මිදීමේ උපායමාර්ග අනුගමනය කරමින් සිටියි. මේ දක්වා නේපාලයේ ප්‍රධාන සැපයුම් මාර්ගය වැටී තිබුණේ ඉන්දියාව හරහා ය. මේ මන විට ඔවුන් ඉන්දියාව මගහැර චීනයේ වරාය 4ක් යොදා ගනිමින් තම සැපයුම් මාර්ග පුළුල් කර ගැනීමට පියවර ගනිමින් සිටියි. එක් පසෙකින් රටේ දේශපාලනයටත් අනෙක් පසින් රටේ ආර්ථිකයටත් බලපෑම් කිරීමට වෙනත් රටකට ඉඩ ලබා දිය යුතු ද?