ක්‍රිකට් මූල්‍ය වංචාව: පරීක්ෂණ CIDයට යොමු කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් CIDයට

by Staff writer 11-09-2018 | 6:47 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පස්වරුවේ මේ බව තහවුරු කළේ ය. එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කර ගැනීමට උත්සහ කර තිබිණි. තරග විකාශන කටයුතු සිදු කරන සමාගම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් තොරතුරු විමසා තිබේ. එම තොරතුරු විමසීමත් සමග අදාළ ගනුදෙනුව පිළිබඳව සොයා බලා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, සවිස්තර අධ්‍යයනයකින් පසුව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ උපදෙස් මත ඊයේ පස්වරුවේ මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබිණි. මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබූ අතර අද ඔහුගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන පැවරිණි.