වාසනාගමේ අවාසනාව

වාසනාගමේ අවාසනාව

by Staff writer 11-09-2018 | 9:59 PM
COLOMBO (News 1st) - ගැටලු විසඳීමට බලධාරීන් නොපැමිණෙන බව දන්නා ඇතැම් ගම්වැසියන් තමන්ට හැකි පමණින් ඒවා විසඳා ගන්නේ නිහඬවම දුක දරා ගනිමිනි. එවැනි ගම්මාන රැසක පොදු ගැටලු විමසමින් ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් 6ක් අදත් සංචාරය කළේ ය. වන අලි තර්ජනයෙන් දැඩි බලපෑමක් සිදුවන ත්‍රිකුණාමලය ගෙංගේ ගම්මානයේදී ගම්වැසියන් පිරිසක් අප හමුවට පැමිණියහ. ඔවුන් පැවසුවේ දිවා රෑ දෙකෙහිම වන අලීන්ට බියෙන් ජීවත් වන බව ය. අපට දුක කියූ මොවුන්ගෙන් එක් මාතාවක් ඇගේ නිවසට පැමි‍ණෙන්නැයි ඉල්ලීමක් කළා ය. ඇගේ නිවසට ගිය අපට දැක ගත හැකි වූයේ, අංශභාගයෙන් පීඩා විඳින සැමියා සමග තම දියණිය හා දරුවා ද සමග ඇය දැඩි වීර්යකින් යුතුව ජීවත් වන අයුරුයි. ත්‍රිකුණාමලය මජීඩ්නගර් සහ ශාෆිනගර් ගම්මාන යා කරමින් ගලන ගඟ හරහා පාලමක් නොමැති නිසා එහි ජනතාව දෛනිකව විඳින්නේ දැඩි පීඩාවකි. පවුල් 300ක් පමණ භාවිත කරන පාලම් පාරුව ද අනාරක්ෂිත තත්ත්වයේ පවතී. පිහිනානෙ ගම්වදින වන අලීන්ගෙන් ද එල්ල වන්නේ දැඩි තර්ජනයකි. මෙවැනි අපහසුතා රැසක් මැද අකුරු කරන දරු පිරිසක් ද අපට හමුවිය. මාතලේ මැටිහක්ක ගමේ ජනතාවගේ ප්‍රධානම ගැටලුව ප්‍රවාහන අපහසුතාවයි. ඒ සමග ගැටගැසුණු අර්බුද රැසක් නිසා ඔවුහු ආර්ථික අගාධයක ගිලී සිටිති. නගරයට යාමට ගඟ හරහා පාලමක් නොමැති නිසා කිලෝමීටර හත අටක් අමතරව යා යුතු බව ජනතාව පැවසුවේ ය. වැල් පාලමක්වත් සාදා දෙන්නැයි ඉල්ලීම් කළ ද එය මෙතෙක් ඉටු කර නොමැති අතර ජල හිඟය නිසා මොවුන් තිස් වසරක් තිස්සේ විඳින්නේ ද දැඩි පීඩාවකි. වතු කම්කරු පවුල් 45 ක් වෙසෙන මාතලේ විහාරගමවත්ත, රබර් වගාවෙන් යැපෙන ගම්මානයකි. මෙහි ලැයින් කාමර දැඩි ලෙස අබලන් වී ඇති අතර නිවාස 45ටම ඇත්තේ වැසිකිළි 5ක් පමණි. දරුවන් පාසල් අධ්‍යාපනය සඳහා කිලෝමීටර ගණන් පයින් යන අතර ජල හිඟය ද මොවුන්ගේ මූලික ගැටලුවකි. රත්නපුර පහළගම ජනතාව ආර්ථික ගැටලු සමූහයක් ගැන අප හමුවේ අදහස් දැක්වුවේ ය. අධ්‍යාපන කටයුතු සඳහා පරිගණක ඇතුළු පහසුකම් කිසිවක් නොමැති පාසලක දරු දැරියන් 250 දෙනෙක් ඉගෙනුම ලබති. ගමනා ගමන අපහසුතා නිසා ගම්වැසියන් හා දරුවන් මුහුණ දෙන්නේ දැඩි අසීරුතාවකට ය. නමින් වාසනාගම වුවත්, සුව පහසුවෙන් දිවි ගෙවීමට වාසනාවක් නොමැති රත්නපුර වාසනාගම ජනතාව පැවසුවේ, නගරයට යාම සඳහා කිලෝමීටර 12ක් පයින් ගමන් කළ යුතු බව ය. වැසි දිනකදී දොළෙන් එගොඩ විය නොහැකි නිසා එදින දරුවන්ට පාසල් ගමනක් නොමැත. ජල ගැටලුව දැඩි අර්බුදයක් වී ඇති අතර කලකට පෙර සැකසූ ජල ටැංකියෙන් ද කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ජනතාව ප්‍රකාශ කළේ ය.