නිල නිවාස භාර නොදුන් හි.ඇමතිවරුන්ට එරෙහිව නඩු මගට

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරු 9 දෙනෙකුට නඩු පැවරීමේ සූදානමක්

by Staff writer 11-09-2018 | 8:13 PM
COLOMBO (News 1st) - නිල නිවාස මෙතෙක් ලබා නොදුන් හිටපු අමාත්‍යවරුන් පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක සඳහන් ක‍ළේ හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙකු සිය නිල නිවාසවලින් මෙතෙක් ඉවත්ව නොමැති බව ය. කඩිනමින් නිල නිවාසවලින් ඉවත් වන්නැයි හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී ඇතැයි ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ප්‍රකාශිකාව සඳහන් කළා ය. ඇය පැවසුවේ, නිල නිවාසවලින් ඉවත් නොවන එම පිරිසට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදු වන බව ය. නිල නිවාසවලින් ඉවත් නොවී සිටීමට සාධාරණ හේතු ඇත්නම් ඒ පිළිබඳව සලකා බලන බව ද ඇය ප්‍රකාශ කළා ය. එම ප්‍රකාශිකාව සඳහන් කළේ, නිල නිවාස භාර නොදුන් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව ය.