ලබන පළමු වන දා සිට සංශෝධනය වන දුම්රිය ගාස්තු මෙන්න

ලබන පළමු වන දා සිට සංශෝධනය වන දුම්රිය ගාස්තු මෙන්න...

by Staff writer 11-09-2018 | 10:28 PM
COLOMBO (News 1st) - ලබන මස පළමු වන දා සිට ක්‍රියාත්මක නව දුම්රිය ගාස්තු සංශෝධනය ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දුම්රිය ගාස්තු 15%කින් ඉහළ යනු ඇති. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි ඒන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, නව ගාස්තු සංශෝධනය යටතේ අවම ගාස්තුව වන රුපියල් 10 කිසිදු වෙනසක් සිදු නොවන බව ය. නමුත් අවම ගාස්තුව සඳහා වන දුර කිලෝමීටර් 09 සිට කිලෝ මීටර් 07 දක්වා සීමා කර තිබේ. ඒ අනුව කොළඹ කොටුව සිට හුණුපිටිය දක්වා මෙතෙක් රුපියල් 10ක් පැවති දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව නව සංශෝධනය අනුව රුපියල් 15ක් වේ. කොළඹ කොටුව සිට ගම්පහ දක්වා ගාස්තුව රුපියල් 30 දක්වා ද, රාගම දක්වා ගාස්තුව රුපියල් 25 දක්වා ද ඉහළ දමා තිබේ. සංශෝධනය වූ නව ගාස්තුවලට අදාළව කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා පැවති රුපියල් 105ක 3 වන පංතියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව 135 දක්වා ඉහළ යන අතර, කොළඹ කොටුව සිට මාතර දක්වා ගාස්තුව රුපියල් 130 සිට 170 දක්වා ඉහළ යනු ඇති. කොළඹ කොටුව සිට මහනුවරට පැවති රුපියල් 110ක් වූ 3 වන පංතියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 140 දක්වා ද, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පැවති රුපියල් 205 ගාස්තුව රුපියල් 275 දක්වා ද ඉහළ යන බව නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ ය. කොළඹ කොටුව සිට යාපනය දක්වා දුම්රිය ගාස්තු නව සංශෝධනය අනුව ඉහළ යන්නේ රුපියල් 30කිනි. මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය වන්නේ 2008 වසරෙන් පසුව වන අතර මෙම නව ගාස්තු සංශෝධනය ලබන මස 01 වන දා සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි ඒන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.