චන්දිමාල්ට ආසියානු ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

by Staff writer 11-09-2018 | 8:56 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා විය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකො යන රටවල් 6 සහභාගීත්වයෙන් පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තව ත් ඇත්තේ දින 5 ක් පමණි. ඒ සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටියේ ය. නමුත් පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා අබාධයකට ලක් විණි. ඊයේ දිනයේදී චන්දිමාල්ගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නොසිටින බව අනාවරණය වී තිබේ. ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව දිනේෂ් චන්දිමාල් වෙනුවට ආසියානු කුසලානය සඳහා පිටව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.