ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වංචාව පිළිබඳව හෙළිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 5.5ක් වංචා කිරීමේ සැලැස්ම හෙළිවෙයි

by Staff writer 10-09-2018 | 5:46 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ ඒ පිළිබඳව අනාවරණයක් මේ... ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් වැළැක්වීමට හැකි වූ බව ය. ඒ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු මෙම මුදල විදේශීය පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීමේ උත්සහයක් අනාවරණය වීමත් සමග ය. තරග විකාශන කටයුතු සිදු කරන සමාගම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් තොරතුරු විමසා තිබේ. එම තොරතුරු විමසීමත් සමග අදාළ ගනුදෙනුව පිළිබඳව සොයා බලා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, සවිස්තර අධ්‍යයනයකින් පසුව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ උපදෙස් මත අද පස්වරුවේ මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබේ. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හොංකොංහි පෞද්ගලික ගිණුමකට මෙම මුදල බැර කිරීමට උපදෙස් දී ඇත්තේ ඊමේල් පණිවුඩයකිනි. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ කවුරුන්දැයි තම නිවේදනය තුළ අනාවරණය නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වග බලා ගැනීම විශේෂත්වයකි. එම නිවේදනයේ සඳහන් වන්නේ, වසරක කාලයක් තුළ ක්‍රිකට් ආයතනයේ සිදු වූ ගනුදෙනු විගණනය කිරීමට පියවර ගෙන ඇති බව ය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත්දැයි කළ විමසීමේදී අද පස්වරු 5.30ට පමණ පොලිස්පතිවරයා පැවසුවේ තමන් ඒ පිළිබඳව දැනුවත් කර නොමැති බව ය. පැමිණිල්ල සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද නැතහොත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැයි විමසීමේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද ඒ පිළිබඳව නොදැන සිටීම විශේෂත්වයකි.