වෙරළ තීරයට ඉන්ධන මුසුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර

වෙරළ තීරයට ඉන්ධන මුසුවීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

by Staff writer 10-09-2018 | 7:19 AM

COLOMBO (News 1st) - උස්වැටකෙයියාව ඇතුලු වෙරළ තීරයට ඉන්ධන මුසුවීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, පරිසර හා ආර්ථිකයට සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා එලෙස නීතිමය පියවර ගන්නා බව ය. උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, මුහුදට මුසුවී ඇති තෙල් ඉවත් කරන තෙක් එම වෙරළ කලාපයට පැමිණීමෙන් ද වළකින ලෙසයි. මුතුරාජවෙල බෝයාවේ සිට කොළොන්නාවට දැවිතෙල් රැගෙන යන නළයක කාන්දුවක් සිදු වූයේ පෙරේදා අලුයමයි. එම නළයේ සිදු වූ කාන්දුව හේතුවෙන් තෙල් මෙට්‍රික්ටොන් 10 කට වැඩි ප්‍රමාණයක් මුහුදට මුසුවී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිට මෙරටට රැගෙන ආ දැවිතෙල්, නෞකාවේ සිට තෙල් ගොඩබැම් සිදු කරන අවස්ථාවේ අදාළ නළයේ කාන්දුව සිදු ව තිබේ. පෙරේදා දහවල් වන විට නළයේ සිදු වූ කාන්දුව අලුත්වැඩියා කරනු ලැබු අතර ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ ඉන්, දැවිතෙල් බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නැති බවයි. අදාළ නළ පද්ධතිය අලුතින් එළීම සඳහා රජයට යෝජනාවක් ඉදිරිපත් කර මුදල් ඉල්ලා ඇති බව ද සංස්ථාව සඳහන් කළේ ය. මේ අතර ජාතික සේවක සංගමයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසූවේ, අවස්ථා 8 කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස නළ පිපිරීම් සිදු ව ඇති බවයි. පසුගිය රජයේ බාල නළ දැමීමේ විපාක දැන් අත්විදින්න සිදුවී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.