පාසල් ගමන සඳහා කිලෝමීටර 12ක් පයින් යන දරුවෝ

පාසල් ගමන සඳහා කිලෝමීටර 12ක් පයින් යන දරුවෝ

by Staff writer 10-09-2018 | 9:15 PM
COLOMBO (News 1st) - අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතැම් සැලසුම් අගනගර කතිකාවත් අතර සිර වී තිබෙද්දී ඈත ගම්මානවල දරු දැරියන්ට මූලික පහසුකම්වත් නොමැත. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් එවැනි දරුවන් ද හමුවෙයි. මාතලේ පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් ආර්ථික ගැටලු රැසකට පෙළෙන අතර මව්පියන්ට දරුවන් වෙනුවෙන් බොහෝ දේ ලබා දෙන්නට හැකියාවක් නොමැත. හිමිදිරියේ පාසල් එන දරුවන්ට අධ්‍යාපනය සඳහා මූලික පහසුකම් පවා නොමැති අතර පෙළපොත් ගැටලු, ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නොමැතිකම, ජල හිඟය, අධ්‍යාපන උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වීම ඇතුළු ප්‍රශ්න රැසකට උත්තර නොමැත. අධ්‍යාපන බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ගම්වැසියෝ පැවසූහ. මාතලේ නිලගම ලොකු ළූණු ගොවීන් මුහුණ පා සිටින්නේ දැඩි අර්බුදයකට ය. වගා කරනවා ද වගාව අත්හරිනවා ද යන්න තීරණය කර ගත නොහැකිව මොවුහු ලත වෙති. වගාවෙන් පවුල් 450ක් පමණ යැපෙන අතර මිල ගැටලුව නිසා සියල්ලෝ අසරණ වී සිටිති. වගාවට සැලකිය යුතු මුදලක් වැය කළත්, අපේක්ෂිත ආදායම නොලැබෙන බව ගොවීහු පැවසූහ. මහා පරිමාණ ගොවීන් පවා සිටින්නේ වගාව අත්හැරීමට සූදානමිනි. ත්‍රිකුණාමලය තායිබ්නගර් ගම්වැසියන්ගේ මූලික ප්‍රශ්නය වන අලි උවදුරයි. ඔවුන්ට නිවාස ප්‍රශ්නය ද දැඩිව බලපා තිබේ. අවට ගම්වල සංවර්ධන කටයුතු සිදු වෙතත් මේ ගමේ තත්ත්වය වෙනස්. මොවුන් සැතපුම් ගණන් ගොස් ජලය රැගෙන එන්නේ, ගමේ ළිංවල ජලය ලුණු රස බැවිනි. ධීවර කර්මාන්තයේ නිරත මොවුහු ආර්ථික ගැටලුවලින් මිරිකී දිවි ගෙවති. ත්‍රිකුණාමලය සිරාජ්නගර්හි ජීවත් වන පවුල් සංඛ්‍යාව 3000කට අධික ය. රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් නොමැති අතර වෛද්‍යවරයෙකු පැමිණෙන්නේ සතියකට වරක් පමණි. හදිසියේ රෝගී වූවෙකු තඹලගමුවට ගෙන යා යුතු කෙටිම මාර්ගයේ යෑම ද බෙහෙවින් දුෂ්කර බව ජනතාව පැවසුවේ ය. ඔවුන් ඉල්ලා සිටියේ මේ ස්ථානයේ පාලමක් සාදා දෙන ලෙසයි. රත්නපුර හිගුල ගම්මානයේ පවුල් 840ක් සිටින අතර ඉඩම් අයිතිය තහවුරු කෙරෙන කිසිදු ලේඛනයක් ඔවුන් සතුව නොමැත. මේ නිසා දරුවෙකු පාසලකට ඇතුළත් කිරීම ඇතුළු බොහෝ කාර්යයන් ඔවුන්ට දුෂ්කර වී තිබේ. පිටතින් පැමිණ ව්‍යාපාර අරඹන අයට කිසිදු ගැටලුවක් නැතත් තමන්ට කුඩ අම්මාගේ සැලකිල්ලක් දක්වන බව එම ජනතාව පැවසුවේ ය. ප්‍රවාහන ගැටලු, මාර්ග අබලන් වීම සහ ජල හිඟය ද මෙහි ප්‍රධාන ගැටලුවලින් කිහිපයකි. රත්නපුර නන්පේරියල් වත්තේ දරු දැරියන් අධ්‍යාපනය ලබන්නේ බොහෝ දුෂ්කරතා මැදයි. විවේකානන්ද ප්‍රාථමික විද්‍යාලයට යෑම සඳහා කන්දේ සිට කිලෝමීටර 12ක් පයින් යා යුතු අතර, එය පැය කිහිපයක ගමනකි. මේ නිසා මව්පියන් සහ ගුරුවරුන් මැදිහත් වී ඔවුන් පාසලේ දින 5ක් නතර කරගෙන උගන්වයි. මේ දිනවල නේවාසිකාගාරයක් ඉදි කෙරෙන අතර නිසි ආහාරපාන හිඟකම ද දරු දැරියන්ට ඇති මූලික ගැටලුවකි.