ජාතික ආරක්ෂාව ගැන කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකිනවා

ජාතික ආරක්ෂාව පිළිබඳව සිදු කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකිනවා - ආරක්ෂක රාජ්‍ය ඇමති

by Staff writer 10-09-2018 | 7:18 PM
COLOMBO (News 1st) - ජාතික ආරක්ෂාව පිළිබඳව සිදු කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාවන් ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් පිරිසක් මෙම ප්‍රකාශ සිදු කරන බව ය. පසුගිය කාලය පුරා මෙම පිරිස ජාතික ආරක්ෂාව පිළිබඳව සාවද්‍ය කරුණු සමාජගත කිරීමේ බොලද උත්සයක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. රජය සෑම විටම ජාතික ආරක්ෂාව ප්‍රමුඛතම හා සුවිශේෂී කරුණ ලෙස සලකා කරුණු සමාලෝචනය කරමින් පමණක් තීරණ ගන්නා බව ද 2015 වසරේ සිට බල ලෝභී සහ වෙනත් පටු අරමුණු ඇති පිරිස් උතුරු නැගෙනහිර ඇතුළු රටේ ආරක්ෂාව පිළිබඳව සාවාද්‍ය කරුණු සමාජ ගත කිරීමට උත්සහ කරන බව ද එම නිවේදනයේ සඳහන් ය. මූලෝපායි වශයෙන් වැදගත් කඳවුරු සියල්ල ශක්තිමත් කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා, සාමාන්‍ය ජනතාව වෙත ඉඩම් නිදහස් කිරීම සිදු කර ඇත්තේ ආරක්ෂක සමාලෝචනයකින් පසුව බව ද පෙන්වා දෙයි. ත්‍රිවිධ හමුදාවේ යුද ශක්තිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය යුද අභ්‍යාස හා පුහුණු වැඩසටහන් සඳහා රජය පූර්ණ අනුග්‍රහය හා ප්‍රතිපාදන වැඩි වශයෙන් ලබා දෙන බව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.