චමත් පලිහපිටියට අයත් Social Capital අර්බුදයක

චමත් පලිහපිටියට අයත් Social Capital අර්බුදයක

by Staff writer 10-09-2018 | 10:25 PM
COLOMBO (News 1st) - චමත් පලිහපිටිය මහතාට අයත් අමෙරිකානු ශෝෂල් කැපිටල් සමාගම කඩා වැටෙමින් ඇතැයි ඇක්සියෝස් සහ ටෙක් ක්‍රන්ච් නමැති වෙබ් අඩවි වාර්තා කරයි. චමත් පලිහපිටිය මහතා ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර සඳහා වූ අමෙරිකාවේ සිලිකන් වැලිහි ශ්‍රී ලංකා තානාපතිවරයායි. 2011දී ෆෙස්බුක් සමාජ වෙබ් අඩවියේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ චමත් පලිහපිටිය ශෝෂල් කැපිටල් නම් සමාගම ආරම්භ කළේ ය. ඔහු සමග එම සමාගම ආරම්භ කළ හවුල්කරුවන් මේ වන විට සමාගම හැර යමින් ඇති බව වෙබ් අඩවි වාර්තා කරයි. ටෙක් ක්‍රන්ච් වෙබ් අඩවිය වාර්තා කරන්නේ, මෙම සමාගම ආරම්භ කළ එහි නිර්මාතෘවරයෙකු වන මාමුන් හමීඩ් 2017 අගෝස්තු මාසයේදී ක්ලෙයින පර්කින්ස් නම් තරගකාරී සමාගමට සම්බන්ධ වීමත් සමග ශෝෂල් කැපිටල් බිඳ වැටීම ආරම්භ වූ බව ය. ඒ සමගම ශෝෂල් කැපිටල් සමාගමේ තෙවැනි නිර්මාතෘවරයා වූ ටෙඩ් මේඩන් බර්ග් ද සමාගමෙන් ඉල්ලා අස්වී තිබේ. පසුව ශෝෂල් කැපිටල් සමාගමේ හවුල්කරුවෙකු වූ අර්ජුන සෙති පසුගිය ජුනි මාසයේදී තමාගේම සමාගමක් නිර්මාණය කර මෙම සමාගමෙන් ඉවත් විය. ඇක්සියොස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, ශෝෂල් කැපිටල් සමාගමේ ප්‍රාග්ධන සම්බන්ධ ප්‍රධානී ටොනි බෙට්ස් සහ උප සභාපති මාර්ක් මෙස්වින්කි යන මහත්වරුන් ද සමාගමෙන් ඉල්ලා අස්වී ඇති බව ය. එම වෙබ් අඩවියට අනුව සමගමේ තවත් ඉහළ තනතුරු හෙබ වූ නිලධාරීන් සමාගම හැර ගොස් තිබේ. සමාගමේ හවුල්කරුවන්, සේවකයින් හා ආයෝජකයින් සම්බන්ධයෙන් චමත් පලිහපිටිය ක්‍රියාකාරන ආකාරය පිළිබඳව සැහීමකට පත් නොවීම තුළ මෙලෙස සමාගම හැරයන බව වෙබ් අඩවි වාර්තාවේ සඳහන් ය. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ සමග අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මැදහත්කරුවෙකු ලෙස චමත් පිලිහපිටිය මහතා කටයුතු කළේ ය. එම ව්‍යපෘතියට අදාළව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය, ගූගල් ලූන් සමාගම මෙන්ම ඊට අනුබද්ධ සමාගම් වන ලෝටස් ෆ්ලේයා සමාගම හා රාමා කෝපරේෂන් යන සමාගම් සමග 2015 ජුනි 15 වන දා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබීමට පියවර ගත්තේ ය. රාමා කෝපරේෂන් යනු චමත් පලිහපිටිය මහතාට අයිති සමාගමකි. අදාළ ව්‍යාපෘතිය සඳහා කටයුතු කරන අවධියේ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් පෙන්වා දුන්නේ, රාමා කෝපරේෂන් නම් වූ සමාගම ගූගල් ලූන් ව්‍යාපෘතිය මුවාවෙන් වෙනත් ගනුදෙනු කිරීමට සූදානම් වන බව ය. 2015 නොවැම්බර් 10 වන දින බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවිය චමත් පලිහපිටියගේ ප්‍රකාශයක් පළ කරමින් පෙන්වා දුන්නේ, ඔහු ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත වර්ණාවලියක් හිමි කර ගැනීමට කටයුතු කරන බව ය. එහි වැඩිදුරටත් දක්වා තිබුණේ, රාමා කෝපරේෂන් සමාගම එකී කටයුත්ත වෙනුවෙන් නිර්මාණය කර ඇති බව ය.