හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයාට ඇප

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය: හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයාට ඇප

by Staff writer 10-09-2018 | 8:54 PM
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ, විශ‍්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතා අද ඇපමත මුදා හැරිණි. ඒ, ඔහු ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලුණු අවස්ථාවේදී ය. රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් මත විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයා මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය අද නියෝග කළා ය. මේ අතර ඇප ලබා දීමේදී එක් අයෙකු රාජ්‍ය සේවයේ විධායක නිලධාරියෙකු විය යුතු බවට නියෝග කෙරුණු අතර විදෙස් ගමන් ද තහනම් කෙරිණි. පසුගිය නඩු වාරයේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ප්‍රකාශයක තිබූ පරස්පරතාවක් හේතුවෙන් 8 වන සැකකරු වන හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නියෝග කෙරිණි. ඒ අනුව අද නඩුව කැඳවූ අවස්ථාවේදී එම ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කළේ ය. එම ප්‍රකාශය පදනම් කර ගනිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගෙන් නැවත ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. ලබන 25 නඩුව යළි කැඳවීමට නියමිත ය.