තායිලන්තයේදී කොටු වූ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තායිලන්තයේදී අත්අඩංගුවට

by Staff writer 09-09-2018 | 7:08 AM
COLOMBO (News 1st) - මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කළේ, ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලීසිය මෙරටට දැනුම් දී ඇති බව ය. තායිලන්තයේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ, සාලිය පෙරේරා නමැති පුද්ගලයෙකි. 2013 වසරේදී එම පුද්ගලයා හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් සමග මෙරටදී අත්අඩංගුවට ගැනේ. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කළේ ය. 2013 වසරේදී මෙම සැකකරු රටින් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලීසිය ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ අනුව සැකකරු තායිලන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාකච්ඡා කරගෙන යන බව පොලීසිය සඳහන් කළේ ය.