වෙරළාශ්‍රිත ජනතාවට බලපෑම් එල්ල කළ නළ කාන්දුව

මුතුරාජවෙල බෝයාවේ නළයක සිදු වූ කාන්දුව: කළුතෙල් මුහුදට මුසු වීමෙන් වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑම්

by Staff writer 09-09-2018 | 2:11 PM

COLOMBO (News1st): මුතුරාජවෙල බෝයාවේ නළයක සිදු වූ කාන්දුව හේතුවෙන් මුහුදට මුසු වූ කළුතෙල් පැතිරීමෙන් උස්වැටකෙයියාව සිට ජා-ඇළ පමුණුගම වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.

 

නාවික හමුදාව පවසන්නේ, මුහුදට මුසු වී ඇති තෙල් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ය.

 

ඒ සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා දෙකක් සහ නාවික හමුදා යාත්‍රා අනියුක්ත කර ඇති බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

 

ඔහු කියා සිටියේ, 300 ක පමණ නාවික භට පිරිසක් එම කටයුතු සඳහා අනියුක්ත කර ඇති බව ය.

 

වෙරළාශ්‍රිත බලකාය, නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා ශ්‍රී ලංකා ඛනිජ තෙතල් පර්යන්ත සමාගම මෙම කටයුත්ත සඳහා දායක වී සිටියි.

 

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, කළුතෙල් ටොන් 10 ක් පමණ තල්දියවත්ත සහ උස්වැටකෙයියාව ඇතුළු මුහුදු ප්‍රදේශවලට මුසුව ඇති බව ය.

 

මුතුරාජවෙල බෝයාවේ සිට කොළොන්නාවට දැවිතෙල් රැගෙන යන නළයක කාන්දුවක් සිදු වූයේ ඊයේ අලුයමයි.

 

එම අවස්ථාවේ මුහුදට කළුතෙල් මුසු වී ඇතැයි කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා සඳහන් කළේ ය.

 

අනතුරුව ඊයේ දහවල් වන විට නළයේ සිදු වූ කාන්දුව අලුත්වැඩියා කළ බව ඔහු පැවසුවේ ය.

 

ඉන් දැවිතෙල් බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නැතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.