අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ විරෝධතා

අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ විරෝධතා: 12ක් මරුට

by Staff writer 09-09-2018 | 7:34 AM
(News 1st) - අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාදිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බස්රා නුවර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා අතරතුර තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව ය. මීට දින 6කට පෙර ඉරාක වැසියන් විරෝධතා ආරම්භ කළේ, රජය ජනතාවට සහන ලබා නොදෙන බවට චෝදනා කරමිනි. ආණ්ඩුව දූෂණ චෝදනාවලට සම්බන්ධ බවට ද ඔවුහු චෝදනා කරති. මේ හේතුවෙන් ජනතාවගෙන් සමාව අයැද අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවෝ පවසති. පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායම් දෙකක් මෙහෙයවන විරෝධතා හේතුවෙන් විශාල දේපල හානියක් ද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ ය. මාර්ගවල ටයර් පුළුස්සමින් රජයේ ගොඩනැගිලිවලට අලාභ හානි කරමින් ඔවුන් පවසන්නේ, අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන තුරු විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය.