සාමසර කන්ද පාමුල තවමත් දිවිගෙවන අඳුරු ජීවිත

by Staff writer 08-09-2018 | 8:46 PM

COLOMBO (News 1st) - ජනතා ගැටලු හඳුනාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අද 12 වන දිනටත් ක්‍රියාත්මක කෙරුණි.

කෑගල්ලේ, අරණායක සාමසර කන්ද නාය යාමෙන් පසු අදටත් ඉතිරිවී ඇත්තේ අඳෝනාවකි. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම හමුවේ ඔවුන් තම දුක්බර දිවි පෙවෙත හෙළි කළහ. යන එන මං නැති පවුල් රැසක් කන්ද පාමුල තවමත් සිටින්නේ දුෂ්කරතා දරාගනිමිනි. නිවාස ගැටලුව, විරැකියාව, තේ කර්මාන්තයේ බිඳ වැටීම, මේ ජීවිත තලා පෙළා දමා තිබේ. එදා අසරණ වූ පිරිසක් වසන්තගම ගම්මානයේ පදිංචි කර ඇතත් ඔවුන්ට රැකියා නොමැත. ජනතාව ඉල්ලා සිටින්නේ මේ ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි. කෑගල්ල, ජයමල්පුරට ගිය ගම්මැද්ද කණ්ඩායමට අසන්නට ලැබුණු ප්‍රධානම ගැටලුව වන්නේ ජල හිඟයයි. නළ ළිඳක් ඇතත් එයින් ලැබෙන ජලය පවුල් 50 කට ප්‍රමාණවත් නොවනු ඇත. ගම්වැසියන් පැවසුවේ, එක්තරා ව්‍යාපාරයක මෙහෙයවීමෙන් රුපියල් ලක්ෂ දෙකක් වැය කර තමන්ගේ ශ්‍රමය ද ලබාගෙන ටැංකියක් ඉදි කළ නමුත් ඊට ජලය සැපයෙන ක්‍රමයක් සකස් නොකළ බවයි. වව්නියා, සිදම්බරනගර් ජනතාවට ඇති ප්‍රධානම ප්‍රශ්නය වැසිකිලි පහසුකම් නොමැති වීමයි. ඔවුන් ආර්ථික ගැටලුවලින් දැඩි ලෙස හෙම්බත්ව සිටිනු ඇත. යුද්ධයෙන් අනාථයින් වූ මේ පිරිස 1991 දී මෙහි පදිංචි කර ඇතත් ඔවුන්ට නිවාස පහසුකම් නොමැත. පහසුකම් සපයන පොරොන්දු, වචනවලට පමණක් සීමා වී ඇතැයි ඔවුන් චෝදනා කරති. ජල ගැටලු අතරතුර වකුගඩු රෝගීන් 68 දෙනෙකු වාර්තා වී ඇති අතර කිහිප දෙනෙකු මියගොස් තිබේ. තව ද අවරන්තුලාව, හැලඹගස්වැව සහ පලේඌරුව ට්‍රැක් හත ගම්මානවල අපගේ කණ්ඩායමක් අද දිනයේ සැරිසැරුවේ ය. ජනතාව පැවසුවේ, යුද්ධයෙන් පසු විශාල පිරිසක් මෙහි පදිංචි කළ නමුත් පහසුකම් නොමැතිකම නිසා බොහෝ දෙනෙකු ගම අත්හැර ගිය බවයි. නිවාස වල්බිහි වෙමින් පවතින අතර ජල හිඟය ද ප්‍රධාන ගැටලුවකි ප්‍රවාහන සේවා නොමැති නිසා අධ්‍යාපන කටයුතු ද රැකියා ගැටලු ද මතු ව ඇතැයි ජනතාව පැවසූහ. මහනුවර උඩ පළාත යනු, පීකොක් ගම්මානය, දොරගල හා නිව් පීකොක් ඇතුලු ගම් හයකින් යුතු ජනපදයකි. 40 වසරකින් පමණ මාර්ග අලුත්වැඩියා කර නොමැති අතර ගොඩ භෝග වගා කරන ගොවීන් අස්වනු රැගෙන යාමේදී බොහෝ අසරණ වනු ඇත. පාසල් දරුවන් සැතපුම් ගණන් පයින් ගමන් කරනු දැකිය හැකි අතර ගුරු හිඟය ද ප්‍රධාන ප්‍රශ්නයකි. මහා සම්පතක් වූ අක්කර 11ක දොරගල වැව ද ගොඩවී තිබෙනු අපට දක්නට ලැබුණි. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමට හමු වූ මහනුවර, සමර්සෙට්වත්ත වතුකරය ද දුෂ්කර ගම්මානයකි. ඔවුන්ට ජලය ලැබෙන්නේ ද දිනකට පැයක් පමණ ය. අඩු ආදායම්ලාභීන් වන මේ ජනතාවට වැසිකිලි පහසුකම් පවා නොමැත. ලැබෙන සොච්චම් මුදලෙන් දුක සේ දිවි ගැටගසාගන්නා ඔවුන් අප සමග පැවසුවේ සුරසැප විඳින බලධාරීන් තමන් දෙස නොබලන බවයි.