කොළඹ සහ කුරුණෑගල මෙහෙයුමකින් 39ක් අත්අඩංගුවට

කොළඹ සහ කුරුණෑගල මෙහෙයුමකින් 39 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 08-09-2018 | 12:13 PM
COLOMBO (News 1st) - කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී කාන්තාවක ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම 3.00 සිට 7.00 දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක විය. මෙහෙයුම් සිදු වුණේ බේස්ලයින් පාර, කාසල් වීදිය, කොටා පාර සහ සහස්පුර නිවාස සංකීර්ණය යන ස්ථානවල ය. මේ සඳහා බොරැල්ල පොලීසිය පොලිස් කණ්ඩායම් 12ක් යොදවා තිබිණි. අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින්, ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයින් සහ ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවක් ද ඇතුළත් ය. මේ අතර කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. මෙහෙයුම් ක්‍රියාත්මක වුණේ, අද අලුයම 3.00 සිට 7.00 දක්වා කාලය තුළයි. මේ සඳහා පොලිස් රථ වාහන අංශය, අපරාධ විමර්ශන අංශය, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් 64 දෙනෙක් සහභාගී වූහ. මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛයින් ද යොදා ගත් බව අප වාර්තාකරු පැවසුවේ ය. ඒ අනුව සැකපිට 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වරෙන්තුකරුවන් 6 දෙනෙකු ද ඒ අතර වේ. නීති විරෝධී මත්පැන් නිෂ්පාදන කටයුතු කළ පුද්ගලයින් 4 දෙනෙකු, ගණිකා වෘත්තියේ යෙදුණු දෙදෙනෙකු, බීමතින් රථ වාහන පැදවූ දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි.