මුලන්කාවිල් මුහුදේ පාවුණු කේරළ ගංජා

රු. මිලියන 3ක් වටිනා කේරළ ගංජා තොගයක් මන්නාරම මුලන්කාවිල් මුහුදෙන් සොයා ගැනේ

by Staff writer 08-09-2018 | 12:34 PM
COLOMBO (News 1st) - මන්නාරම මුලන්කාවිල් මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 284ක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පාර්සල් 7ක කේරළ ගංජා තොගය ඇසුරුම් කර තිබූ බව ය. එම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක පළ කරයි. මන්නාරම මුහුදේ නාවික මුර සංචාරයක යෙදී සිටි නාවික හමුදා සමාජිකයින් පිරිසක් එම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර ඉදිරි විමර්ශන සඳහා ඒවා පොලීසියට භාර දී තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 3 ඉක්මවන බව ය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් 2ක යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, බුද්ධි අංශ මගින් ලබා ගන්නා තොරතුරු මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව ය. මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින අපරාධකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි අධිකරණයට අද කරුණු වාර්තා කිරීමට නියමිත ය.